උතුරු -නැගෙනහිර සංහිඳියාව ගොඩනැගීමට ආණ්ඩුව අසමත්- සුනිල් හඳුන්නෙත්ති

sunil handunnethi

උතුරේ සහ නැගෙනහිර ජනතාව සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ මාවතක් කරා යොමු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ, සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන ඊ පී ඩී පී සංවිධානයේ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය කිරීමේ සිදුවීම් ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් සිදුවුනේ කුමක් ද යන්න තාමත් දැනගන්නට නැති බවත් මේ සිදුවීම් ජාතික සමගියට බාධාවක් වන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

මෙය හමුදා සුපරීක්ෂණය යටතේ පවතින ප්‍රදේශයක මහ දවල් සිදුවූ මිනීමැරීමක් වන අතර විනිවිද පෙනෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කොට වැරදිකරුවන් නීතිය හමුවට කැඳවීම ආණ්ඩුවේ වගකීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුනේය.

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ කෝවිල් සහ පාසැල් කඩා ඉවත් කිරීම අනුමත නොකළ හැකි බවත් සියළුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවට ගරු කිරීම අපේක්ෂා කරන බවත් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ අධි ආරක්‍ෂිත කලාප වැඩපිළිවෙළ ද මන්ත්‍රීවරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අතර ජනතාවගේ ඉඩම් හමුදාව විසින් කොටු කර ගැනීම ජාත්‍යන්තර බලපෑම් වලට මග පාදන බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.