මැන්ඩෙලාගේ අභාවය මැකිය නොහැකි පාඩුවක් - ජනපති මහින්ද

Image caption 'මැන්ඩෙලාගේ අරගලය මානව වර්ගයාගේ හදවත් සහ සිත් සතන් තුල සදාතනිකව සනිටුහන්'

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ලෝක ප්‍රජාවට මැකිය නොහැකි පාඩුවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති රාජපක්ෂ, මැන්ඩෙලාගේ නායකත්වය යටතේ 1994 දී දකුණු අප්‍රිකාව යලිත් එක් වීම සංවිධානයට ශක්තියක් වූ බව ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ බහුවිධ භාවය සහ සමගිය සුරක්ෂිත කිරීම, දකුණු අප්‍රිකාව ලෝකයට බිහි කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයාට පොදු රාජ්‍ය මණ්ඩලය විසින් පුද කළ හැකි ඉහලම ගෞරවය බවද ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සඳහන් වේ.

'නිදහස්කාමී ජනතාවට ආදර්ශයක්'

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා වෙත ශෝක පණිවුඩයක් යවන ජනාධිපති රාජපක්ෂ, දකුණු අප්‍රිකානු වාසීන්ගේ ගෞරවය, නිදහස සහ සාධාරණය දිනා දීම උදෙසා මැන්ඩෙලා ගෙන ගිය අරගලය මානව වර්ගයාගේ හදවත් සහ සිත් සතන් තුල සදාතනිකව සනිටුහන් වී තිබෙන බව පවසයි.

දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට මැන්ඩෙලා දුන් නායකත්වය ලොව පුරාම නිදහස්කාමී ජනතාවට ආදර්ශයක් සහ දිරියක් වූ බවද නිවේදනයේ සඳහන්.

හිටපු ජනාධිපති මැන්ඩෙලා විසින් දායාද කරන ලද සාමයේ උරුමය සහ සිය ජීවිතය මඟින් ඔහු ලෝකයට පෙන්වා දුන් දර්ශනය, වසර ගණනාවක් මුළුල්ලේ සාමය පතමින් සිටි ශ්‍රී ලංකා වාසීන්ටද ආදර්ශයක් වූ බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.

මැන්ඩෙලාගේ ජීවිතය සහ ඔහුගේ දර්ශනය පුද්ගලිකව තමන්ටද ආදර්ශයක් වූ බව පවසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ඔහුගේ අභාවය තමන්ටද පාඩුවක් බවත් සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය

නෙල්සන් මැන්ඩෙලා ගේ අභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා, ශ්‍රේෂ්ඨ නායකයකුට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කරයි.

වර්ණය, ජාතිය හෝ ඇදහීම නොතකා සියලු දෙනාට සමානත්වය උදා කිරීම වෙනුවෙන් මැන්ඩෙලා සිය සම්පූර්ණ ජීවිතය කැප කළ බව පවසන නිවේදනය, සිය ජනතාවට විමුක්තිය උදා කොට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵල නෙලා ගැනීමට ඔහු අවස්තාව උදා කර දුන් බවද සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ සියලු ජාතීන්ට එය සිය මවු බිම ලෙසින් හැඟෙන ආකාරයේ වාතාවරණයක් සකස් කිරීම මගින් මැන්ඩෙලා රට එකමුතු කළ බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

ගැටුම්වලින් භේද භින්න වී සිටින රටවල නායකයන්ට මැන්ඩෙලා කදිම ආදර්ශයක් බවද නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර