මැන්ඩෙලා වෙනුවෙන් දින දෙකක ශෝක කාලයක්

Image caption විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද කොළඹදී ශෝක ප්‍රකාශ සටහන් කළ පිරිස අතර විය

අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කොට තිබේ.

ඒ අනුව ලබන අඟහරුවාදා සහ බදාදා දින දෙකේ සියලු ජාතික ධජ අඩ කුඹු කොට තබන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ.

මේ අතර වර්ණභේදවාදයට එරෙහි සටනේ නායකයා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය ශෝක සටහන් පොතක් විවෘත කළ අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මුලින්ම ශෝක ප්‍රකාශ සටහන් කළහ.

බහු ජාතික සමාජයක්

ශෝක සටහනක් තැබීම පිණිස එහි පැමිණ සිටි ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියාවේ මහ කොමසාරිස් ෆෙමි ඒ රොටිනි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, සාමකාමී ලෙසින් විප්ලවයක යෙදුනු වීරයකු ලෙසින් නෙල්සන් මැන්ඩෙලා හැඳින්විය හැකි බවයි.

බහු ජාතික සමාජයක් බිහි කිරීම පිණිස සමස්ත ලෝකයම දිරි ගැන්වූ ඔහු, සිය රටේ පමණක් නොව නයිජීරියාවේ පවා බහු ජාතික සහ බහු වාර්ගික සමාජයක් නිර්මාණය කළ වීරයකු බවද මහ කොමසාරිස්වරයා පැවසීය.

පළි ගැනීම හෝ තණ්හාව සිත් තුල නොමැති පුද්ගලයකු ලෙසින් මැන්ඩෙලා හඳුන්වා දිය හැකි බවයි, මේ අතර විශ්‍රාමික රාජ්‍යතාන්ත්‍රිකයකු වන කල්‍යානන්ද ගොඩගේ බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමඟ කියා සිටියේ.

අඟහරුවාදා සහ බදාදා පැවැත්වීමට නියමිත නෙල්සන් මැන්ඩෙලාගේ ජාතික සමරු මෙහෙයන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගි වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ් බුෂ් සහ බිල් ක්ලින්ටන් ඇතුළු ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් සහ හිටපු රාජ්‍ය නායකයන් සියයකට වැඩි පිරිසක්ද සමරු මෙහෙයට හෝ ලබන පහළොස් වැනිදා පැවැත්වෙන අවමඟුල් උත්සවයට සහභාගි වීමට නියමිත බව දකුණු අප්‍රිකාවේ බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර