කාන්තා කටයුතු ඇමතිවරයා 'නිලයෙන් පහ කරන්න'

Image caption කාන්තා ක්‍රියාධාරිනී සීතා රංජනී

ළමා සංවර්ධන කටයුතු සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බව පවසමින් කාන්තා ක්‍රියාධාරීන් 169 දෙනකුගෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන 31 ක අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ළමා සංවර්ධන කටයුතු සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියැද්ද විසින් කාන්තාවන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට විරෝධය පෑමක් ලෙසින් මෙම ඉල්ලීම කරන බවයි කාන්තා ක්‍රියාධාරිනී සීතා රංජනී ප්‍රකාශ කළේ.

තිස්ස කරලියද්ද ඇමතිවරයා අවස්ථා කිහිපයක දී ම කාන්තාවන් දැඩි ලෙස අපහාසයට ලක් කර ඇති බවත් කාන්තාව කිසිදු කාර්යාලයක වගකීම් දරණ නිලයකට පත් නො කළ යුතු බවත් ඔහු ප්‍රසිද්ධ වේදිකා කිහිපයක දී ම පවසා ඇති බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.

'එක එකපාරක් නෙමෙයි'

තම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද සීතා රංජනී ප්‍රකාශ කළාය.

" එක එකපාරක් වෙච්ච් වැරැද්දක් නෙමෙයි, දෙපාරක් නමෙයි අවස්ථා කිහිපයකම ඔහු මෙවන් ප්‍රකාශ කරලා තියෙනවා කාන්තාවන්ට විරුද්ධව, කාන්තා නිලධාරිනියන් අනික් කාන්තාවන්ට ඉරිසියා කරනවා කියලා එක වෙලාවක කියනවා, කාන්තාවන්ම කාන්තාවන්ට එරෙහිව වැඩ කරන බව කියනවා, ඒව සාමාන්‍යයෙන් සමාජයේ පොදු ප්‍රකාශ බවට පත් කරන එක වැරදියි, ඒවා තමයි සමාජයේ තිබෙන අගති ගැමි ආකල්ප" කාන්තා ක්‍රියාධාරිනී සීතා රංජනී සංදේශයට පැවසුවාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ සම්බන්ධයෙන් අමාත්‍ය තිස්ස කරලියද්දගෙන් සංදේශය විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ඕනෑ තරම් පැහැදිලි කිරීම් කර ඇති බවත් එම පැහැදිලි කිරීම් පවා මාධ්‍ය වල විකෘති කොට පළ කිරීම හේතුවෙන් තමන්ට අනවශ්‍ය චෝදනාවලට ලක් වීමට සිදු වූ නිසා මේ සම්බන්ධයෙන් අදහස් නො දක්වන බවයි.