උතුරේ ‘ඡායාරූප ගත් ඉන්දීය පුරවැසියා’ අත් අඩංගුවට

Image caption කිලිනොච්චි හමුදා මුලස්ථානය

උතුරේ යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන වල ඡායාරූප ගැනීම නිසා ඉන්දීය පුරවැසියකු අත් අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකාවේ පොලිසිය පවසයි.

බදාදා කිලිනොච්චියේදී අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයාගේ නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ බීබීසීයට ප්‍රකාශ කළේ තරුණයා තමිල් නාඩුවෙන් පැමිණි 24 හැවිරිදි අයකු බවයි.

අත් අඩංගුවට ගන්නා ලද තැනැත්තා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් සමග සිටිනු දක්නා ලද බවත් පොලිස් ප්‍රකාශකයා කියා සිටියේය.

තවමත් පරීක්ෂණ පැවැත්වෙන බැවින්, අත් අඩංගුවට ගන්නා ලද්දේ මාධ්‍යවේදියකු දැයි සැක හැර කිව නො හැකි බව කී පොලිස් ප්‍රකාශකයා කියා මේ පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කරන බවයි වැඩි දුරටත් කියා සිටියේ.

“ඔහු මාධ්‍ය වේදියකු බව ප්‍රකාශ කර නැහැ. එසේ කළා නම් වෙන වර්ගයක වීසා බලපත්‍රයක් ලබා දෙන්නට තිබුනා,” යයි පොලිස් ප්‍රකාශකයා බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාෂ් නල්ලුසාමි හට ප්‍රකාශ කළේය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වීමට හැකියාවක් ලැබුනේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර