ලාංකිකයන් පිරිසක් ‘උගන්ඩාවේ කොටු වෙලා’

Image caption බෝර් නගරයේ සටන් වලින් ගැලවී ගැනීම සඳහා පළා යන 75,000 ක් පමණ රොක් වී සිටින්නේ යාබද නයිල් නදියෙන් එගොඩ අවරියෙල් නගරයේ.
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දකුණු සුඩානයේ යුද්ධයෙන් පළා යන ලාංකිකයන් පිරිසක් යාබද උගන්ඩාවේ කොටු වී සිටින බව ශ්‍රී ලංකාවට ඒමට සමත් වූවෙක් පවසයි.

ගණකාධිකාරී වරයකු ලෙසින් ජුබා අගනුවර සේවයේ නිරත ව සිටි දසන් නිශාන්ත බීබීසී සංදේශයට කියා සිටියේ අඩු ම වශයෙන් ලාංකිකයන් දොළොස් දෙනකු වත් උගන්ඩාවට ළඟා වී සිටින බවයි.

Image caption රටවල් ගණනාවක් තම පුරවැසියන් ඉවත් කර ගනිමින්

ඉකුත් මස මැද දී දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් ට පක්ෂ පාතී සන්නද්ධ භටයන් හිටපු උප ජනාධිපති රියෙක් මචාර් ගේ මන්දිරයට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කළේ තමන්ගේ සේවා ස්ථානය ආසන්නයේ සිට බවයි දසන් නිශාන්ත පැවසුවේ.

ඔහු ඇතුළු තිදෙනකු අඟහරුවාදා ගුවන් මගින් කොළඹට ළඟා වී ඇත්තේ බසයක නැගී කම්පාලා අගනුවරට පැමිණීමෙන් අනතුරුවයි.

Image caption නයිල් නදිය තරණය කොට ආරක්‍ෂිත තැන් සොයා යාම සඳහා බෝට්ටු වලට ගොඩ වෙමින්

ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනකු පමණ දකුණු සුඩානයේ සේවය කරති’යි විශ්වාස කැරුණත් එය තහවුරු කළ නොහැකි බවයි දසන් නිශාන්ත පවසන්නේ.

යුද වැදී සිටින, දකුණු සුඩානයේ ජනාධිපතිවරයා සහ හිටපු උප ජනාධිපතිවරයා සාම සාකච්ඡා සඳහා සිය නියෝජිතයන් මේ වන විට ඉතියෝපියාවට යවා තිබේ.

Image caption වැසිකිලි පහසුකම් හෝ පිරිසිදු ජලය හෝ නැහැ. බීමටත්, සේදීමටත් ඇත්තේ නයිල් ගඟේ වතුර. ආධාරක කාර්ය මණ්ඩල පවසන්නේ තත්වය බරපතල බව.

ඔවුන් ඉතියෝපියාවේ අඩිස් අබාබා (Addis Ababa) අගනුවර දී මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමට නියමිතයි.

Image caption හිසට වහලක් නැති අනාථයන්ට සිදු වී තිබෙන්නේ ගස් යට ලැගුම් ගැනීමට. ආහාර සහනාධාරත් ඇත්තේ සීමිත ලෙසින්.

සටන් විරාමයක් ප්‍රකාශයට පත් වී නැති අතර සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් යුද අනාථයන් බවට පත් වී ඇතැයි දකුණු සුඩානයේ සිටින එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සම්බන්ධීකාරක (Toby Lanzer) ටොබි ලැන්සර් කියා සිටි.

කෙසේ වෙතත්, දසන් නිශාන්ත පවසන්නේ දිගු කලක් තිස්සේ සටන් වැදී යුද මානසිකත්වයකින් සිටින දෙපාර්ශවය සාකච්ඡා මගින් විසඳුමකට එළඹෙනු ඇතැ’යි බලාපොරොත්තු වීම අසීරු බවයි.