ඉන්දීය, ලාංකීය ධීවර පිරිසකට නිදහස

Image caption ත්‍රිකුනාමල බන්ධනාගාරයෙන් නිදහස ලබා

තමිල්නාඩුවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි දෙනකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධීවරයන් පනස් දෙදෙනකු ද නිදහස් කළ බව දෙරටේ බලධාරීහු පවසති.

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් විසි දෙනකු නිදහස් කරන ලද බව ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසූ අතර ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටි තවත් ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු ද නිදහස් කරන ලදැ'යි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වරයා බීබීසී තමිලෝසයි හා කියා සිටියේය.

නිදහස් කරන ලද ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ චෙන්නායි ශාඛාවට භාර දී ඇති අතර, යාපනයේදී නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් පිරිස ඉන්දීය තානාපති නිලධාරීන්ට භාර දෙනු ලැබ තිබේ.

දෙරටේ ධීවර ගැටළු සම්බන්ධයෙන් ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර තමිල්නාඩුවේ දී ජනවාරි විසි වැනිදා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ධීවර ගැටලුව විසඳීමට ප්‍රධාන බාධකයක් බව පවසන ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, එබැවින් විසි වැනි දින අදාල සාකච්ඡා පැවැත්වීමද ස්ථිර නැතැයි බීබීසී දෙමළ සේවයට පැවසීය.

තමිල්නාඩුවේ පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශයේත් ලාංකික ධීවරයන් සිර ගත කොට සිටින බව ඉරිදා ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඔවුන් සැම දෙන නිදහස් කරන තුරු ශ්‍රී ලාංකික අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් නිදහස් නොකැරෙන බව ද සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර