සාකච්ඡාවලට යහපත් පරිසරයක් නිර්මාණය වෙලා - ඇමති

Image caption ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ තහනම් පන්න ක්‍රම නවතා දැමීමේ තීන්දු 'වඩා වැදගත්'

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට සිය ඉන්දීය සංචාරයේදී සාර්ථක පිළිතුරු ලබා ගැනීමට හැකි වනු ඇතැයි ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න බලාපොරොත්තු පළ කරයි.

නවදිල්ලිය බලා පිටත් වීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොළේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක් වූ අමාත්‍යවරයා, අත් අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයින් කණ්ඩායමක් නිදහස් කිරීමට තමිල්නාඩු මහ ඇමතිනිය තීරණය කිරීම සහ එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව ද ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කිරීම මගින් දෙපාර්ශවය අතර සාකච්ඡා සඳහා යහපත් පරිසරයක් නිර්මාණය වී තිබෙන බව කියා සිටියේය.

තමිල්නාඩුවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි දෙනකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධීවරයන් පනස් දෙදෙනකු ද නිදහස් කළ බව දෙරටේ බලධාරීහු සඳුදා සංදේශයට ප්‍රකාශ කළහ.

'ගැටළු අවුල් වෙලා'

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් විසි දෙනකු නිදහස් කරන ලද බව ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසූ අතර ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටි තවත් ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු ද නිදහස් කරන ලදැ'යි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

කෙසේ නමුත් සිරකරුවන් නිදහස් කිරීමෙන්ම පමණක් දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බව ධීවර ක්‍රියාධරයෝ පවසති.

දෙපාර්ශවයේම ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ තහනම් පන්න ක්‍රම නවතා දැමීමේ තීන්දුවලට අවතීර්ණ වීම, සිරකරුවන් නිදහස් කිරීම හා සමානවම වැදගත් බවයි, මහවැව ශාන්ත සෙබතියන් ධීවර සමිතියේ අනුශාසක ලොයල් පීරිස් සංදේශයට කියා සිටියේ.

මුහුදු සීමා උල්ලංඝණය නොකරන ධීවරයින් අත් අඩංගුවට පත්වීම හේතුවෙන් දෙරටේ ධීවර ගැටළු අවුල් වී ඇති බව ද ලොයල් පීරිස් ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර