ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාත්‍යන්තර විමසීම් ‘සංහිඳියාවට බාධාවක්'

එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ චෝදනා පිලිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ප්‍රජාව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ සංහිඳියාවට මග පාදන්නේ නැතැ'යි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායකත්වය ප්‍රකාශ කරයි.

මහනුවර මඩවල මදීනා විදුහලේ අඟහරුවාදා පැවති නබි නායක ජන්ම දින සමරුවකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ තමන් මේ බව ශ්‍රී ලංකාවට පැමිණ සිටි යුද අපරාධ පිලිබඳ එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් හමුවේ කියා සිටි බවයි.

ස්ටීවන් ජේ රැප් ගේ පස් දින සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, අදාළ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණ පවත්වා සත්‍යය හෙළිදරව් කර ගන්නා ලෙසත්, වැරදි කරුවන්ට දඬුවම කරන ලෙසත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණි.

මෙය ‘සංකීර්ණ ප්‍රශ්නයක්’ සේ හැඳින්වූ අධිකරණ අමාත්‍ය වරයා කියා සිටියේ ‘නැවත නැවත නිරීක්ෂණය කිරීම මගින්’ ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ඇති කිරීම අසීරු කටයුත්තක් බවයි.

සත්‍ය හා සංහිඳියා කොමිසමක්

විකල්පයක් ලෙසින් අමත්‍ය රවුෆ් හකීම් යෝජනා කරන්නේ දකුණු අප්‍රිකාවට සමාන සත්‍ය හා සංහිඳියා කොමිසමක්.

වර්ණභේදවාදී පාලනය පෙරලා දමා දකුණු අප්‍රිකාවේ බලයට පත් වූ නෙල්සන් මැන්ඩෙලා ගේ නායකත්වයෙන් යුත් පළමු කළු බහුතර රජය සත්‍ය හා සංහිඳියා කොමිසම පිහිටවුයේ 1995 දී.

සුදු පාලකයන් යටතේ පීඩාවට පත් වුවන් මෙන් ම පීඩිතයන් ද කොමිසම හමුවේ සාක්කි දුන්හ.

රජයේ හමුදා වලට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව මාර්තු මාසයට පෙර විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අසමත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වෙත යොමු වීමට සිදු වනු ඇති බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද මීට ඉහත දී ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.