'ගිවිසුම් ගැහුවට අපව බලාගන්න කවුරුත් නෑ'

Migrant workers Image copyright AFP
Image caption සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් විවිධ වද හිංසාවන්ට ලක්වූ අවස්ථාවන් ද විය

මැදපෙරදිග ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞදි රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවයි, වද හිංසාවන්ට ලක් වී ආපසු පැමිණි ගිනිගත්හේනේ මංජුලා පෙරේරා පවසන්නේ.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ගේ තත්වය සොයා බැලීමට ඔවුන් සේවය කරන නිවෙස්වලට කිසිදු නිලධාරියෙකු නොපැමිණෙන හෙයින් ඉහත කී ගිවිසුමෙන් පලක් නොවන බව මංජුලා පෙරේරා සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ, ගෙහිමියන් වෙතින් පා පහර කෑම සහ මුහුණට උණු වතුර වත්කිරීම වැනි තමා අත්දුටු දුක් ගැහැට සංදේශයට විස්තර කරමින්.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිතීන් සුරක්ෂිත කරන ගිවිසුමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉකුත් දා සෞදි අරාබි රජය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹියේ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය පවසන්නේ.

මෙම ගිවිසුම මගින් ගෘහ ආශ්‍රිත රැකියා සඳහා දැනටමත් සෞදි අරාබියට ගොස් සිටින සහ ඉදිරියේ දී යන කාන්තා සහ පිරිමි දෙපක්ෂයට ම සුරක්ෂිත සේවා ස්ථානයක් තහවුරු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුව ද මේ අත්සන් කළ ගිවිසුම පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට සලස්වා නැති හෙයින් එහි අන්තර්ගතය පිළිබඳව සැක පහළ කරන බවයි විදේශ රැකියා ඒජන්සි ආයතන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. අපොන්සු පවසන්නේ.

ගිවිසුම තුළ යහපත් දේ මෙන්ම අයහපත්දේ ද අඩංගු වී තිබිය හැකි බව ඔහු තවදුරටත් කියා සිටියේය.

එහෙත් ගිනිගත්හේනේ මංජුලා පෙරේරා පැවසුවේ ඇය කරදයට පත් වූ අවස්ථාවේ රැකියා ඒජන්සි නියෝජිතයන් ගෙන් ඇයට කිසිදු පිළිසරණක් නොලැබුණු බවයි.