ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මානව හිමිකම් කොමසාරිස්ට මානව හිමිකම් චෝදනා

මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.ලංකා ගුරු සංගමය ඊට අදාළ පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ගොණු කර ඇති බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම් නඩුවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නුගේගොඩ අනුලා විදුහල්පතිනි එන්. කේ. ඒකනායක පසුගිය දෙසැම්බර් තුන් වෙනි දින එම කොමිසම වෙත ගිය අවස්ථාවේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා විදුහල්පතිනිය කැඳවා අනුලා විදුහලේ ශිෂ්‍ය නායිකාවන් පත් කිරීමේ දී ඔහුගේ දියණියට අසාධාරණයක් වී ඇතැයි පවසමින් විදුහල්පතිනියට අමානුෂික ආකාරයෙන් බැණ වැදී ඇති බවයි පැමිණිල්ල ඉදිරිපත් කරන ලංකා ගුරු සංගමය කියා සිටින්නේ.

එමගින් විදුහල්පතිනි එන්. කේ. ඒකනායකගේ මූලික අයිතිවාසිකම් කඩ කොට ඇත යන්න පැමිණිලි පාර්ශ්වයේ තර්කයයි.

විභාගයක් අවශ්‍යයි

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරිය අනුලා විදුහලේ ‘ලොග්’ සටහනක් තබා ඇති බව පැමිණිල්ල ගොණු කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

“කොමසාරිස් වරයකුට විදුහල්පතිනියකට තර්ජනය කරන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ව තියෙනවා. මානව හිමිකම් කොමිසම පිරිසිදුව තිබිය යුතු ආයතනයක්. එම ආයතනයෙන් මහජනතාවට සහනයක් ලබා ගත හැකි වන්නේ එය විධිමත් ව පැවතුනොත් පමණයි .” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

මානව හිමිකම් කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා ට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් බීබීසී සංදේශය කොමිසමේ ලේකම් නීතිඥ නිමල් පුංචිහේවාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමාට ඒ ගැන කිසිවක් කිව නො හැකි බවයි.