ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිංහල සිනමාව අඳුරෙන් අඳුරට

ඩිජිටල් තාක්‍ෂණය හඳුන්වා නො දුන්නොත් දැනටමත් කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉදිරියේ දී 'නැත්තට ම නැති වන' බවට දේශීය සිනමා වේදීහු අනතුරු අඟවති.

සිනමාවේදීන් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ඉල්ලමින් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂක වරුන්ගේ සංසදය හා දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානය පාගමනකින් ගොස් ජන මාධ්‍ය අමාත්‍යංශයට සංදේශයක් භාර දුන් අවස්ථාවේයි ඔවුන් එම ප්‍රකාශය කළේ.

චිත්‍රපට ප්‍රදර්ශනය ඩිජිටල්කරණය, ජාතික චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය, චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රදර්ශනය විධිමත් කිරීම සඳහා නියාමන කොමිසමක් ස්ථාපනය කිරීමට රජය ගත් තීරණ ක්‍රියාත්මක නො කිරීම පිළිබඳ ව සිය විරෝධය පළ කිරීමටයි, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂක වරුන්ගේ සංසදය හා දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය පා ගමනක් සංවිධානය කර තිබුණේ.

කැබිනට් අනුමැතිය සහිත විද්වත් කමිටුවකින් ඉදිරිපත් කෙරුණ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට තීරණයක් ගෙන වසර දෙකක් පමණ ගත ව ඇති බව ප්‍රකාශ කළ චිත්‍රපට අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය, රජය එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟ වී දැන් ඒවා ක්‍රියාත්මක නො කිරීම ප්‍රශ්නයක් බවයි කියා සිටියේ.

රජය නීතිය කැඩීම

චිත්‍රපට බෙදාහැරීම සහ ප්‍රදර්ශනයේ පවතින අසමතුලිතභාවය හේතුවෙන් ප්‍රදර්ශන පෝලිමේ චිත්‍රපට රාශියක් ගොඩ ගැසී ඇති බව පවසන උදයකාන්ත වර්ණසූරිය, චිත්‍රපට පිටපත් සංඛ්‍යාව සීමා කිරීමට ගත් තීරණය රජයේ මැදිහත් වීමෙන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ද විරෝධය පළ කළේය.

චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න ජයකොඩි සංදේශයට අදහස් දක්වමින් පැවසුවේ, මුළු ලෝකයම දල සේයා පටවලින් චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන් බැහැරව සිටිය දී ශ්‍රී ලංකාව පමණක් තවමත් දල සේයා පටවලින් චිත්‍රපට නිෂ්පාදනය කිරීම ගැටලුවක් බවයි.

මෙම පාගමනට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිනමා නළු රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ, කලාකරුවන්ගේ කර මතින් පිහිට වූ මෙම ආණ්ඩුව අද එම කලාකරුවන් අසරණ කිරීම ගැන තමන් කණගාටු වන බවයි.

ඩිජිටල් තාක්ෂණ ප්‍රමාදය

සිනමාකරුවන්ගේ විරෝධය හා ඉල්ලීම් පිළිබඳ ව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්ගෙන් සංදේශය විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, සිනමාකරුවන් ඉල්ලා සිටින්නේ 'දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින යෝජනා ක්‍රියාත්මක කිරීමක්' පිළිබඳ ව වන බවයි.

දැනටමත් සමහර පුද්ගලික චිත්‍රපට ප්‍රදර්ශන ආයතන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර සවි කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි සිනමාකරුවන් සිය සංදේශයෙන් ජනමාධ්‍ය ඇමතිවරයාට පැවසුවත්, අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ, චිත්‍රපට ශාලාවලට එම ප්‍රක්ෂේපණ යන්ත්‍ර සවි කිරීමට තරම් වත්කමක් නොමැති වීම ඩිජිටල්කරණය කල් ගත වීමට හේතුවක් වී ඇති බවයි.

දැනට ක්‍රියාත්මක චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල පහ වෙනුවට මණ්ඩල තුනක් ඇති කිරිමටද දැනට කටයුතු යොදා ඇති බවයි, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් තවදුරටත් සඳහන් කළේ.