කිරි පිටි හිඟය 'නිෂ්පාදන වියදම ඉහල යාම නිසා'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාත්‍යන්තර කිරි පිටි නිෂ්පාදන වියදම ඉහල යාම, රට පුරා පවතින කිරි පිටි හිඟයට ප්‍රධාන හේතුව බව ව්‍යාපාරිකයෝ පවසති.

කිරි පිටි හිඟය හේතුවෙන් තමන් මහත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බව පාරිභෝගිකයන් පවසන අතර, මාසයකට ආසන්න කාලයක් විකිණීම පිණිස කිරි පිටි නොලැබුණු බව වෙළඳසැල් හිමියෝ සංදේශයට පැවසූහ.

බොහෝ වෙළඳසැල්වල කිරි පිටි සඳහා වෙන් කොට ඇති රාක්ක හිස්ව තිබුණි.

කිරි පිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 325 ක් ලෙස රජය තීරණය කරද්දී, ලෝක වෙළෙඳපොළේ ඩොලර් 3700ක්‌ව තිබූ කිරි පිටි මෙට්‍රික් ටොන් එකක මිල අද වන විට ඩොලර් 5200 දක්වා ඉහළ යාම මෙම නිෂ්පාදන වියදම අධික වීමට හේතු වී ඇති බව, මිල්ග්‍රෝ සමාගමේ නේවාසික කළමනාකරු ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේය.

'කෘත්‍රිම හිඟයක්'

Image caption කෘත්‍රිම හිඟයක් මවා පා මිල ඉහල නැංවීමට උත්සාහ දරන බවට සමාගම්වලට චෝදනා

මිල්ග්‍රෝ සමාගම මේ වන විට කිරි පිටි ආනයනය හා බෙදාහැරීම නවතා දැමීමට හේතුව එය බව පවසන ඔහු, අනිකුත් සමාගම්වලටද මේ ප්‍රශ්නය එලෙසම බලපා තිබෙන බව පෙන්වා දෙයි.

"හරියට ඇණවුම් එනවා. විශාල ප්‍රශ්නයකට, පීඩනයකට අපි මේ සමාගම් මුහුණ දීලා තියෙන්නේ; සමාගමේ සේවකයන්ගේ රැකියාවලට බලපානවා, පාරිභෝගිකයන්ට ගන්ඩ දෙයක් නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

කෘත්‍රිම හිඟයක් මවා පා කිරි පිටි මිල ඉහල නැංවීමට සමාගම් උත්සාහ කරන බවට නැගෙන චෝදනාව ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මිල වැඩි කළොත් අපිත් දන්නවා පාරිභෝගිකයාට මේක දරන්න බැරි මිලක් වෙනවා, අපේ විකුණුම් අඩුවෙනවා, ඉතින් ඒ ගැටළු සහගත තත්වය දැනගෙනයි අපි මේකට මුහුණ දෙන්නේ," යනුඉවෙන්ද ඔහු පැවසීය.

2013 අප්‍රේල් මාසයේ සිට මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බවද මිල්ග්‍රෝ සමාගම පවසයි.

කිරි පිටි වල මිල වැඩිකරන ලෙස ඉල්ලීම් ලැබුණු සැනින් මිල වැඩි කිරීමට අවසර දිය නොහැකි බවයි, වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් පවසන්නේ.

කිරි පිටි හිඟය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ආණ්ඩුවට එල්ල වන චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරන පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නිපුණ ඒකනායක සංදේශයට කියා සිටියේ, අමාත්‍යාංශය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

"කිරි පිටි හංගල තියෙනවද කියල බලනවා, ගබඩා පරීක්ෂා කරනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

කිරි පිටි වලට ඇති එකම විකල්පය වන දියර කිරිද රටේ සියලුම ප්‍රධාන නගරවල ජීවත්වන ජනතාවට සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවීම ජනතාව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර