වසරකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 80,000 ක්

Image copyright Sundayobserver.lk
Image caption ශ්‍රී ලංකාව තුල වසරකට 80,000 කගේ පමණ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කෙරේ

ශ්‍රී ලංකාවේ වෙසෙන ඇස් රෝගවලින් පීඩා විඳින පිරිස පිළිබඳ ව නිවැරදි සංඛ්‍යා ලේඛන සකස් කිරීම සඳහා ආරම්භ කළ දීප ව්‍යාප්ත සංගණනය අවසන් අදියර කරා ළඟාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝකයේ විසි පන් කෝටියකට ආසන්න ජනකායක් අක්ෂි රෝග වලින් පෙලෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහනුවරදී අක්ෂි වෛද්‍ය විශේෂඥයන් අමතමින් ප්‍රකාශ කළේය.

ලොව පුරාම තුන් කෝටි පනස් ලක්ෂයක ජනකායක් අන්ධ භාවයට පත්ව සිටින බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ වලක්වා ගත හැකි අන්ධ භාවයට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විටත් වැඩ පිළිවෙලක් දියත් කොට ඇති බවද සඳහන් කළේය.

අන්ධ භාවය තුරන් කිරීම

දොස්තර පාලිත මහීපාල ඒ බව කියා සිටියේ, අක්ෂි ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ ආරාධිත දේශනය පවත්වමින්.

වලක්වා ගත හැකි අන්ධ භාවය දෙදහස් විස්සේ දී තුරන් කිරීමේ අරමුණින් VISION 2020 වැඩ සටහන ලොව පුරා දියත් කළ 2000 දීයි ශ්‍රී ලංකාවත් ඒ හා එක් වුනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අන්ධ භාවය වැලැක්වීම සඳහා වන ජාත්‍යන්තර ආයතනය ඒ සඳහා පෙරමුණ ගෙන සිටින අතර රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්ගේ සංවිධාන සහ විවිධ සමාගම් මෙම වැඩ සටහනේ සාමාජිකත්වය දරන බවයි, VISION 2020 වැඩ සටහන පවසන්නේ.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ පළමු සභාපතිනිය ලෙස දොස්තර ලලිතා සෙනරත් අද පැවති වාර්ෂික සම්මේලනයේදී තේරී පත් විය.