ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධිත සෙබළුන්ට වසර ගණනක් වැටුප් නෑ

නියමිත වැටුප් නො ගෙවූ බවට චෝදනා කරන තුන්සියයකට ආසන්න ආබාධිත සෙබළ පිරිසක පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කළ අධිකරණය විරෝධතා ගොනු කිරීමට ආරක්ෂක ලේකම්වරයාට හා යුද හමුදාපතිවරයාට දෙ මසක් කල් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් තමන්ට හිමි මාසික දීමනා ගෙවීම වසර ගණනක් තිස්සේ ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් අභියාචනාධිකරණය හමුවේ යුක්තිය පතා සිටින යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන් සංඛ්‍යාව 292ක්.

වග උත්තර කරුවන් ලෙස නම් කොට ඇත්තේ යුද හමුදාපති, ආරක්ෂක ලේකම් ඇතුළු බලධාරීන්.

පෙත්සම් කාර සෙබළුන් පවසන්නේ ආබාධිත වන හමුදා සාමාජිකයන්ට හමුදා රෙගුලාසි වලට අනුව විශ්‍රාම වැටුප හිමි වන තුරු මාසික වැටුප් හා දීමනා ගෙවීමට රජය බැඳී සිටින බවයි.

නමුත් තමන්ට එම දීමනා ගෙවීම රජයේ ආරක්ෂක බලධාරීන් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි ඔවුන් ගේ චෝදනාව.

වරප්‍රසාදිත සුළු පිරිසක්

එහෙත්, යුද හමුදාවේ වරප්‍රසාද ලත් සුළු පිරිසක් පමණක් මෙම සහනය භුක්ති විඳින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

යුද්ධයෙන් ආබාධිත වීම නිසා මෙම සෙබළුන් නියමිත වයසට පෙර විශ්‍රාම ගන්වා තිබේ.

එල්ටීටීයට එරෙහි යුද්ධය අවසන් බව රජය විසින් ප්‍රකාශයට පත් කොට දැනට වසර හතරකට වැඩියි.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දැක්වීම පෙත්සම්කාර යුද භටයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව කේ එස් උදයකුමාර් වාර්තා කරයි.

ඔවුන් මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියේ අධිකරණය හමුවේ සිදු වූ දේ පමණක් වාර්තා කරන ලෙසයි.