පැකර්ට ලංකාවේ ආයෝජනයට අවසර

ඕස්ට්‍රේලියානු කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් Image copyright AFP
Image caption ඕස්ට්‍රේලියානු කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර්

ගේ ආයෝජන වැඩපිළිවෙළ යටතේ කෙරන ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට යොමු කිරීමට කටයුතු කර ගෙන යන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තපා බී බී සී සංදේශයට කියා සිටියේය.

‘මේ ව්‍යාපෘතිය සහ කැසිනෝ ක්‍රීඩාව අතර කිසිම සම්බන්ධයක් මේ අවස්ථාවේ දී නැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තපා කියා සිටියේය.

මතු වූ විරෝධතා හේතුවෙන් කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දෙමින් පළ කළ ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගෙන අළුත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

කියා සිටියේ ආණ්ඩුව මේ අවස්ථාවේදී ඉදිකිරීම් වලට ඉඩදී පසුව කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දීමේ උපක්‍රමශීලී පිළිවෙතකට යොමු වී ඇති බවයි.

සූදු ක්‍රීඩාවට ආයෝජන කරන්නෙක් සේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ආයෝජක ජේම්ස් පැකර් කැසිනෝ ක්‍රීඩාවට ඉඩක් නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකාව තුල දැවැන්ත ආයෝජනයක් කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

ජාතික හෙළ උරුමය

කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දෙමින් ජේම්ස් පැකර් ගේ ආයෝජන වලට අනුමැතිය ලබාදීමට මුලින් විරුද්ධ වූ නමුත් දැන් ඉදිරිපත් කොට ඇති අලුත් ගැසට් නිවේදනයේ කැසිනෝ ක්‍රීඩාව පිළිබඳව සඳහනක් නොමැති හෙයින් තමන් විරුද්ධ නොවන තමුන් මේ ආයෝජන පිළිබඳව විමසිලිමත්ව බලා සිටින බව ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය කියා සිටින්නේ ආයෝජක ජේම්ස් පැකර් ගේ ක්‍රවුන් සමාගම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග කැසිනෝ ක්‍රීඩාවට තිබෙන ඉඩකඩ පිළිබඳව වැඩි දුර සාකච්ඡා කරමින් සිටින බවයි.

යෝජිත ආයෝජනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හාරසීයක් බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.