දෝෂාභියෝගය සමයේ 'විනිසුරුවන්ට මරණ තර්ජන'

ඡායාරූප මූලාශ්‍රය, courtofappeal.lk
ශ්‍රීස්කන්ධරාජා, දෝෂාභියෝගය නීති විරෝධී බව තීන්දු කළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයායි
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය නීති විරෝධී බව තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති ශ්‍රීස්කන්ධරාජා විනිසුරුවරයාට බොහෝ අසාධාරණකම්වලට මුහුණ දීමට සිදු වූ බව නීතිවේදී එකමුතුව පවසයි.
නීතිවේදී එකමුතුව ඒ බව පවසන්නේ අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රීස්කන්ධරාජාගේ අභාවය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින්.
විශේෂයෙන්ම විනිසුරු ශ්‍රීස්කන්ධරාජා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිවු වතාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනත් විනිසුරුවරුන් පත් කළ බව පෙන්වා දෙන එම සංවිධානය ඔහු විග්‍රහ කරන්නේ, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවදියකදී විශේෂ තීන්දු ගණනාවක්ම ප්‍රකාශයට පත් කළ ස්වාධීන විනිසුරුවරයකු ලෙසින්.
අධිකරණ පත්වීම්
"විශේෂයෙන්ම අග්‍රවිනිශ්චයකාර තුමියට දෝෂාභියෝගය ගෙනාපු කාලයේදී එතුමාට මරණ තර්ජන පවා තිබුණ බව අපි දන්නවා," බවයි එකමුතුවේ ප්‍රකාශක, නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.
කෙතරම් දුෂ්කර වාතාවරණයක් මතුවුවත්, සිය හෘදය සාක්ෂියට එකඟව තීන්දු ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු ශ්‍රීස්කන්ධරාජා කටයුතු කළ බවත් නීතිවේදී වැලිඅමුණ සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අට වැනි සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ඉහල අධිකරණයට කෙරෙන පත්වීම් සම්බන්ධයෙන් පාරදෘෂ්‍යභාවයක් හෝ නිසි ක්‍රමවේදයක් නොමැති බව පවසන නීතිවේදී එකමුතුව, වර්තමානයේ අධිකරණයට කෙරෙන පත්වීම් පිළිබඳ සම්පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමි වන බව සඳහන් කරයි.
අධිකරණයට කෙරෙන පත්වීම් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය විනිසුරු ශ්‍රීස්කන්ධරාජාගේ අභාවය මගින් යලිත් අවධාරණය කෙරෙන බවයි, නීතිවේදීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව, විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් අධිකරණ ක්ෂේත්‍රයට පත්වීම් සිදු කරන මෙන් ආණ්ඩුවට බල කරන ලෙස නීතිවේදීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.