ජංගම සහන සේවාවේ අරමුණු ප්‍රශ්න කෙරේ

අතුරුදහන් වූවන් ගේ නෑසියන්
Image caption අතුරුදහන් වූවන් ගේ නෑසියන්

ශ්‍රී ලංකා ආණ්ඩුව එක් අතකින් අතුරුදහන්වූවන් පිළිබඳව කොමිසමක් පත් කොට ඒ පිළිබඳ ව විමර්ශන කරන අතරවාරයේ සහනාධාර ක්‍රම උපයෝගී කර ගනිමින් ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් බී බී සී සංදේශයට ප්‍රකාශ කළේය.

අතුරුදහන් වූවන් පිළිබඳව කොමිසම පසුගිය දා කිලිනොච්චියේ දී විමර්ශන පැවැත්වෙද්දී එම ස්ථානයට යාබදව පොලිසිය සහන සේවාවක් පැවැත්වූ අවස්ථාවක් පිළිබඳ ව තමාට වාර්තා වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන, එම් කේ සිවාජිලිංගම් කියා සිටියේය.

ආණ්ඩුවේ මෙහෙයවීමෙන් යුද හමුදාව සහ පොලිසිය අතුරුදහන්වූවන්ගේ නෑදෑයන් මරණ සහතික ගැනීමට පොලඹවා, එමගින් අතුරුදහන්වූවන් පිළිබඳ ව ඇති ගැටළු යටපත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවස්ථා කීපයකදී ම විරෝධය පළ කොට ඇතැයි පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පෙන්වා දුන්නේය.

සහනාධාර ලබා දීමට තමන් විරුද්ධ නැතත් යුද්ධයේ අවසන් අවස්ථාවේ දී හමුදාවට භාර වූ පිරිස් වලට කුමක් සිදු වුයේදැයි දැන ගැනීමට ඔවුන්ගේ නෑසියන්ට අවශ්‍ය වී ඇති බවත්, මරණ සහතික නිකුත් කිරීමෙන් එම අවශ්‍යතාව ඉටු නොවන බවත් එම් කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජංගම සහන සේවාව

යුද්ධයෙන් විපතට අතුරුදහන්වූවන්ගේ නෑසියන් වෙනුවෙන් පොලිසිය පැවැත්වූ ජංගම සහන සේවාව මීට මාස කීපයකට පෙර සැලසුම් කළ කටයුත්තක් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට ප්‍රකාශ කළේ.

එම ජංගම සහන සේවාවේ දී අතුරුදහන්වීම් පිළිබඳව කිසිදු කරුණක් සාකච්ඡා නොකළ බවත් කොටි සංවිධානය විසින් මරා දමන ලද පිරිස් වල නෑදෑයන්ට ඉඩම්, ස්වයංරැකියා සහ නිවාස ගොඩ නගා ගැනීමට ආධාර ලබා දීමට එහි දී කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර