ධීවර සාකච්ඡාවට ජයලලිතාගෙන් න්‍යාය පත්‍රයක්

Image caption දෙරට අතර ධීවර සිරකරුවන් හුවමාරුවක්ද පසුගිය දා සිදුවිය

ඉන්දු ලංකා ධීවර ගැට‍ළු නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඍජු සාකච්ඡා සඳුදා ආරම්භ වීමට නියමිතව තිබියදී තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

යෝජනා පහක් ඇතුළත් මෙම න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ සාම්ප්‍රදායික වශයෙන් මහ ඇමතිනිය විසින් හඳුන්වනු ලබන මුහුදු කලාපයේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අයිතියක් තිබිය යුතු බවයි.

චෙන්නායි නුවරදී සඳුදා පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ලාංකික ධීවර පිරිස සහ බලධාරීන් ඇතුළත් නියෝජිත පිරිස මේ වන විට ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

Image copyright SLNavy
Image caption මුහුද මැද දී සිරකරුවන් හුවමාරු කර ගනිමින්

දිල්ලියේ පැවති මූලික සාකච්ඡාවලින් අනතුරුව මන්නාරමේදී සහ යාපනේදී පුළුල් සාකච්ඡා පැවති බව චෙන්නායි බලා පිටත්ව ගිය ධීවර නායක ඇල්බට් ජස්ටින් සොයිසා බීබීසීයට ප්‍රකාශ කළේය.

'එක දවසක් හරි'

‘එක දවසක් හරි අපේ මුහුදට ඇතුල් වීම ට කිසි සේත් එකඟ වන්න බැරි බව ඉන්දීය ධීවරයන්ට දැනුම් දෙන ලෙස අපේ ධීවරයන් අපිට කිව්වා. ඒ වගේම දිල්ලි රැස්වීමේ දී දෙරටේම නිලධාරීන් එකඟ වූ කාරණයක් තමයි මුහුදු සීමා කඩන ධීවරයන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව. ඉන්දීය ධීවරයන් මසුන් මරණ ක්‍රම වෙනස් කරන්න උපදෙස් දෙන බවත් එසේ නොකරන අයට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් ඉන්දීය නිලධාරීන් අපට ප්‍රකාශ කළා. ඉතින් තමිල් නාඩු ධීවරයන් මීට එකඟ වෙන බව අපිට විශ්වාසයි.’ ඔහු තව දුරටත් කියා සිටියේය.

'දැනුවත් කර නෑ'

නමුත් දිල්ලියේදී සාකච්ඡා වූ කරුණු හෝ චෙන්නායි නුවරදී සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳව තමා දැනුවත් කර නැති බවයි එම සාකච්ඡා සඳහා කැඳවා නොමැති යාපනේ ධීවර නායක කන්ධවනම් සූරියකුමාරන් පවසන්නේ.

‘තමිල්නාඩු ආණ්ඩුව වගේ අපේ පළාත් සභාවත් ධීවරයන්ගේ සුබ සාධනය ගැන දැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ධීවරයන් තෝරලා රැස්වීම සම්බන්ධීකරණය කරන්න තිබුනේ ඒ ගොල්ලෝ. එහෙම කරන්නේ නැතිව ඒ අය මේ ගැන සද්ද නැතිව ඉන්නවා. ඒ ගොල්ලො මොකක් හරි පියවරක් ගත්තා නම් අපි සතුටු වෙනවා. එහෙම නැති තැන මේ රැස්වීමෙන් පලක් වේවි කියලා හිතන්න අමාරුයි. අපි හිතුවා බලයේ ඉන්න අපේ අය අපි ට සහන සලසන්න මොනවා හරි කරයි කියල. ඒත් එහෙම වෙලා නැහැ.’ සූරියකුමාරන් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර