ජී එල් ගේ ඉන්දීය සංචාරය ගැන ‘දිල්ලිය නිහඬයි’

Image copyright MEAIndia
Image caption ඇමැති ජී එල් පීරිස්, ඇමැති සල්මාන් කුර්ෂීද් සමග දිල්ලියේදී

ඉදිරි මානව හිමිකම් සමුළුවේ දී උපකාර ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා දිල්ලි නුවරට ගොස් සිටිය දී යුද අපරාධ චෝදනා පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දක්වන ලෙස මානව හිමිකම් සංවිධාන ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මාර්තු මාසයේ ගෙන ඒමට එක්සත් ජනපදය මුල් වී සැලසුම් කරද්දී යි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හමු වන්නේ.

දිල්ලි නුවර සිටින බී බී සීයේ බෙංගාල අංශයේ වාර්තාකරු ෂුබෝජෝති ඝෝෂ් බීබීසී සංදේශයට කියා සිටියේ, ජී එල් පීරිස් අමාත්‍යවරයා ගේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යංශය අසාමාන්‍ය නිහැඬියාවකින් පසු වන බවයි.

ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීද් සහ අමාත්‍ය පීරිස් අතට අත දෙන ඡායාරූපයක් ඉන්දීය විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කිරීම හැරුණු කොට ඉන්දීය රජය මේ රැස්වීමේ සිදු වූ දේ ගැන හෝ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ගැන හෝ එකදු වචනයක් හෝ කියා නැති බවයි ෂුබෝජෝති ඝෝෂ් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

යුද අපරාධ චෝදනා

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය සංචාරයට පෙර ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත්තේ යුද අපරාධ චෝදනා පිලිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.

Image copyright SL Mission Geneva
Image caption ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ තානාපති රවිනාථ ආර්යසිංහ ජිනීවා නුවර දී

ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත මෙන් ම විපක්ෂ නායකත්වය වෙත ද තම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි, හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි බීබීසී සංදේශයට පැවසුවේ.

ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති විවාදයක දී ද එම ඉල්ලීම ඉදිරිපත් වූ බව ඇය සිහිපත් කළාය.

කෙසේ වෙතත්, ඉන්දීය රජය ගන්නා තීන්දුව රාජ්‍ය තාන්ත්‍රික තීන්දුවක් නොව දේශපාලන තීන්දුවක් වීමට තිබෙන ප්‍රවණතාව වැඩි යයි එරට විදේශ අමාත්‍යංශ නිලධාරීන් විශ්වාස කරන බවයි, ෂුබෝජෝති ඝෝෂ් ප්‍රකාශ කළේ.

අනිටු පල විපාක

ඉන්දීය සංචාරයට පෙර අමාත්‍ය පීරිස් අඟහරුවාදා එක්සත් ජනපද ප්‍රජා නායකයන් පිරිසක් කොළඹ දී මුණ ගැසී මානව හිමිකම් මණ්ඩලය හමුවට ගෙන ඒමට සැරසෙන යෝජනාව පිලිබඳ නොසතුට පළ කළ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

Image copyright httpdangcongsan.vn
Image caption වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නායක නුයෙන් ෆූ චො සමග ඩිව් ගුණසේකර අමාත්‍යවරයා හැනොයි අගනුවර දී

ජිනීවාහි දී නැවත නැවතත් යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාව ට දැඩි බලපෑම් කිරීම අනිටු පල විපාක ගෙන දෙන බවයි විදේශ අමාත්‍ය වරයා එහිදී පවසා ඇත්තේ.

වගකීම් භාරගැනීම, සංහිඳියාව, ඉඩම් පැහැර ගැනීම, ආගමික මෙහෙයවීමෙන් සිදු කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ නඩු නො විසඳීම ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති හෙයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි එක්සත් ජනපදය පවසන්නේ.

‘සාධාරණ හඬක්’

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාට අමතරව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකරත් ඉකුත් දින කීපය තුල දී විදේශීය නායකයන් හමු වී මානව හිමිකම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

සංහිඳියා පිළිවෙත අරඹන ලද සේ රජය විසින් සලකනු ලබන 2012 සිට පස් වසරක කාලයක් එය පල දැරීම සඳහා අවශ්‍ය බවයි, ජනාධිපති ලේකම් වරයා ජිනීවා සංචාරයකින් අනතුරුව වොෂින්ටනයේ දී සඳුදා කියා තිබුනේ.

හැනොයි අගනුවර දී වියට්නාම ජනාධිපති ටුවොං තංග් සෑං (Truong Tan Sang) සහ පාලක කොමියුනිස්ට් පක්ෂ නායක නුයෙන් ෆූ චො (Nguyen Phu Trong) හමු වූ ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ඉකුත් සතියේ ඉල්ලා තිබුනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කොමිසමේ දී ‘සාධාරණ හඬක්’ සපයන ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර