‘ගෙවල් පනස් දහසම හදා දෙනවා’ ඉන්දියාව

යුද පීඩිත උතුරේ වැසියන්ට නිවාස ලබා දීමට ඉන්දියාව යළිත් වතාවක් පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාවේ රජය යුද්ධයෙන් එල්ටීටීය පරාජය කළ බව ප්‍රකාශ කළ විගසමයි ඉන්දීය රජය නිවාස පනස් දහසක් ඉදි කොට දෙන බව නිවේදනය කළේ.

වසර හතර හමාරකට වැඩි කලක් ගත වීත් දුන් පොරොන්දු ඉටුවී නැති බව පෙන්වා දෙමින් බදාදා උද්ඝෝෂණයක නියැලි ජනතාව හමුවීමට වන්නියට ගිය ඉහළ පෙලේ ඉන්දීය නිලධාරිනියක් ‘අදියරින් අදියර’ ගෙවල් තනා දෙන බවට පොරොන්දු වී තිබේ.

'යම් ප්‍රමාදයක්'

ඉන්දීය ආධාරයෙන් නව නිවෙස් ඉදි කිරීමට නියමිත වවුනියාවේ ඉසව් කිහිපයක සංචාරයකින් අනතුරුව ඉන්දීය විදේශ අමත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම් සුජාතා මෙත්තා පුදුකුලම් ගම්මානයේ දී ප්‍රකාශ කොට ඇත්තේ ‘ප්‍රායෝගික ගැටළු හේතුවෙන් යම් ප්‍රමාදයක්,’ සිදුවී තිබෙන බවයි.

කෙසේ වෙතත්, ලේඛන වල නම් සඳහන් සියලු දෙනාටම ස්ථිර නිවාසයක් හිමි වනු ඇති බවට ඇය සහතික වුවාය.