ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බිල අඩු කරන බව මම කියල නෑ -පවිත්‍රා

Image copyright powermin.gov.lk
Image caption '2014 විදුලි බිල අඩුකරනවා කියලා මම කොහෙවත් කියලා නැහැ' විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

2014 ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු අඩු කරන බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බව විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය.

පසුගිය වර්ෂයේ විදුලි ගාස්තු වැඩි කරන අවස්ථාවේ දී පළ වී තිබුණු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ 2014 ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු අඩු කළ හැකි බව විදුලි බල අමාත්‍යවරිය ප්‍රකාශ කළ බවයි.

ජනාධිපතිවරයා අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ද 2014 ජනවාරි වන විට විදුලි බිලෙහි යම් අඩු වීමක් සිදු කළ හැකි බව පවසා තිබුණි.

'මම කිව්වේ නෑ'

එය ඉටු නො කිරීම පිළිබඳව, සංදේශය කළ විමසීමක දී "මම 2014 විදුලි බිල අඩුකරනවා කියලා මම කොහෙවත් කියලා නැහැ" යැයි විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියාය.

ඇය එසේ ප්‍රකාශ කර තිබූ බව මාධ්‍යවේදීන් පැවසූ නමුත් ඇමතිවරිය දිගින් දිගටම කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි.

මෙම අවස්ථාවට එක් වී සිටි විදුලි බල අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, තමන් එසේ ප්‍රකාශ කළ බව පිළිගත් අතර ඔහු පැවසුවේ වර්තමානයේ අනපේක්ෂිත ලෙස නොරොච්චෝලේ බලාගාර බිඳ වැටීම සහ නොරොච්චෝලේ පළමු හා දෙවැනි අදියර කල් යාම නිසා විදුලි ගාස්තු අඩු කිරීම කල් දැමීමට සිදු වූ බවයි.

'මමයි කිව්වේ'

"මමයි කිව්වේ අපි ජනවාරිවල ආණ්ඩුවට නිර්දේශ කරනවා කියලා මේ ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කරන්න, ඒක අපි අදත් කියනවා හෙටත් කියනවා” විදුලි බල අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු කියා සිටියේය.

එවැනි තත්වයක් හමුවේ විදුලි බල මණ්ඩලයට වැඩි මිලට විදුලිය මිල දී ගැනීමට සිදු වී තිබුනත් විදුලිය කප්පාදුවක් හෝ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට රජයට කිසිදු උවමනාවක් නැති බව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ප්‍රකාශ කළාය.

"නොරොච්චෝලේ සහ මේ තියෙන කලබගෑනිය ඇතුළේ පුවත්පත්වල නිරන්තරයෙන් යන කාරණයක් තමයි විදුලි බිල වැඩි කරන්න යනවා කියලා, අපේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි අපිට විදුලිය තිබෙනවා, මේ රටේ ජනතාව විදුලි කප්පාදුවක් ගැන හෝ මිල වැඩි වීමක් ගැන කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැහැ" ඇමතිවරිය තවදුරටත් කියා සිටියාය.