ලංකාවේ පොලිසියේ දෙබිඩි පිළිවෙතක් - ඇමති

Image caption 'අල්ලලා නවත්ත ගන්නවා ත්‍රීවීල් කාරයෝ. හයිෆයි වාහන නවත්තන් නෑ'

බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ශ්‍රී ලංකාවේ පොලිසිය, සාමාන්‍ය ජනතාවට එරෙහිව පමණක් දැඩි පියවර ගන්නා බවට ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් චෝදනා කරයි.

බුද්ධ ශාසන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්කේඩීඑස් ගුණවර්ධන එම චෝදනාව එල්ල කළේ, නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීම වෙනුවෙන් කන්තලේ පැවති උත්සවයකදී.

පොලිස් ස්ථාන දෙක විවෘත කරනු ලැබුවේ පොලිස්පති එන්කේ ඉලංගකෝන් විසින්.

තමා රාජකාරි කළ කාලවකවානුවට වඩා පොලිසියේ කිසියම් ගුණාත්මක භාවයක් දකින්නට තිබෙන බවත් හිටපු පොලිස් නිලධාරියකුද වන නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

"අල්ලලා නවත්ත ගන්නවා ත්‍රීවීල් කාරයෝ. පොලිසියට පිහිට වෙන්නේ ඔවුන්. හයිෆයි වාහන නවත්තන් නෑ, නැවැත්තුවොත් ඉවරයි," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

පොලිස්පති ඉලංගකෝන් ඇමතිවරයාගේ එම චෝදනාවට කිසිදු ප්‍රතිචාරයක් පළ නොකළ බව ආර්ජී ධර්මදාස කන්තලේ සිට වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පොලිසියේ ක්‍රියාකලාපය වෙනස් කිරීමට පොලිස්පතිවරයාට ඇති හැකියාවද ඇමතිවරයා අභියෝගයට ලක් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර