රනිල්ට පහර දෙන්න උත්සාහ කළේ නැහැ - පාලිත

Image caption 'මම මොකටද ගහන්න ආවේ?'

කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය (එජාපය) තීරණය කොට තිබේ.

බදාදා පාර්ලිමේන්තුවේ පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට බීමතින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අසභ්‍ය ලෙස බැණ වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධව ජෝන් අමරතුංග සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වාර්තා අනුව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක්ද පැවැත්වීමට පක්ෂය තීරණය කොට තිබේ.

ඔහු අකමැති අපේක්ෂකයෙකුට බස්නාහිර පළාත් සභාව සඳහා එජාපයෙන් නාම යෝජනා ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයා එසේ කලහකාරී ලෙසින් හැසිරුණු බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

'අසිහියෙන් හිටියේ'

එහෙත් තමන් පක්ෂ නායකයාට පහර දීමට උත්සාහ නොකළ බව පාලිත තෙවෙරප්පෙරුම මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

"ගහන්න ආවා කියනවා මම මොකටද ගහන්න ආවේ?, පක්ෂය පරාජය කරන කෙනෙකුට නාම යෝජනා දුන්න නිසා, මගේ නායකයට ගහල මට බැහැ අර අපේක්ෂකයාගේ ගානට වැටෙන්න," යනුවෙන් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයෙකු බීමතින් සිටියේ නම් පාර්ලිමේන්තුවට පිවිසෙන ස්ථානයේදීම පාර්ලිමේන්තුවේ ආරක්ෂකයන් විසින් ඔහු හරවා යවනු ලබන බව පවසන තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා, තමන්ට එම චෝදනාව එල්ල කරනු ලබන්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් බව සඳහන් කරයි.

"අනිත් අය කවුරුත් කිව්වේ නැහැ, රන්ජන් රාමනායක කිව්වෙත් නැහැ අකිල විරාජ් කිව්වෙත් නැහැ, ජෝන් අමරතුංග විතරයි කියන්නේ."

පක්ෂ රැස්වීමේදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මෙල්ල කළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ, කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයා රැස්වීමෙන් පිටව යාමට සැරසෙද්දී ඔහුගේ අතින් ඇද්ද බවයි.

"ඔහු ගොඩක් අසිහියෙන් හිටියේ. ඔහුගේ අරමුණ මොකක්ද කියල මම දන්නේ නැහැ. පහර දෙන්නම අවශ්‍යතාවය තිබුනා නම් ඔහුට අවස්ථාව තිබ්බ පහර දෙන්න. ගොඩක් අය කෑගහගෙන ගියාට පහර දෙන්නේ නැහැනේ,"යනුවෙන්ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය.

නාම යෝජනා මතභේද

මීට සති කිහිපයකට ඉහතදී බදුරලිය රෝහල යලි විවෘත කර ගැනීම් වස් තමන් දියත් කළ උද්ඝෝෂණය විවේචනය කළ පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මන්ත්‍රීවරයාට දොස් නැගීම නිසා තමන්ගෙන් පළි ගනිමින් සිටින බවට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මේ අතර පක්ෂයට චෝදනා කරයි.

"එයා මට කිව්වා ඔයාට ලැබෙන්න ඕනේ මාධ්‍ය ප්‍රචාරේ ලැබිල ඉවරයි, ඔය උපවාසය නවත්වන්න කියල. ඒකට එතුමාට මාධ්‍ය ඔස්සේ බැන්න හින්දයි මගෙන් පළිගන්නේ."

මන්ත්‍රීවරයාගේ එම චෝදනාව, උද්ඝෝෂණය පැවති අවස්ථාවේම කරු ජයසුරිය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේය.

නාම යෝජනා සම්බන්ධයෙන් හට ගත් මතභේද හේතුවෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයාද පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ අතර එජාප කාන්තා ක්‍රියාකාරිනියක් වන කොළඹ නගරාධිපති ඒජේඑම් මුසම්මිල්ගේ බිරිඳ, ෆෙරෝසා මුසම්මිල්ද පක්ෂයෙන් ඉවත් වන බව නිවේදනය කළාය.

මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නාම යෝජනා වෙනුවෙන් ඇති වූ දැඩි ඉල්ලුම නිසා බව පවසන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දැන් පක්ෂයේ සියලුදෙනාට මත ගැටුම් ඉවතලා පක්ෂය ජයග්‍රහණය කරවීමට කාලය එළැඹ ඇතැයිද සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර