යුද අපරාධ ගැන සෙනෙට් සභාවට යෝජනාවක්

Image copyright AFP

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ව සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වොෂින්ටන් බලා ගිය ඉහළ පෙලේ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පෙරලා පැමිණීමත් සමග එක්සත් ජනපද උත්තර මන්ත්‍රී මණ්ඩලයට ලංකාවට අදාල යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඇමරිකා වේ සෙනෙට් සභාවට ඉදිරිපත් කොට ඇති සර්ව පාක්ෂික යෝජනාවෙන් එක්සත් ජනපදයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ දීත්, ඉන් පසුවත් දෙපාර්ශවය ම විසින් කළ බවට වාර්තා වී ඇති යුද අපරාධ, මානව වර්ගයා ට එරෙහි අපරාධ සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝන විනිශ්චය සඳහා වගකීම පිලිබඳ ස්වාධීන, ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

රටේ සියලු ම පෙදෙස් වලට අවහිරයෙන් තොර ව පිවිසීමේ ඉඩකඩ ජන මාධ්‍ය වලට, ජාත්‍යන්තර ආධාර ආයතන වලට සහ මානව හිමිකම් සංවිධාන වලට සලසා දෙන ලෙසත් එම යෝජනාව ශ්‍රී ලංකා රජයට බල කොට සිටී.

දේශපාලන සහ යුද සිරකරුවන් රඳවා සිටින්නට ඉඩ තිබෙන ස්ථාන වලටත් ඇතුළු වීමේ ඉඩකඩ සලසා දෙන ලෙස එහි යෝජිතයි.

මාධ්‍ය නිදහස

Image copyright presidentsoffice.gov.lk
Image caption ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග

මාධ්‍ය නිදහස වෙනුවෙන් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ රජයෙන් කරන ඉල්ලීමක් ද යෝජනාවේ එයි.

වාර්තාකරණයේ සීමා සහ උතුරු නැගෙනහිර තොරතුරු ගලා යාමට පවත්නා බාධා ඉවත් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටින යෝජනාව මාධ්‍යවේදීන්ටත්, ආයතන වලටත් පහර දීමට වග කිව යුත්තන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලයි.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු ඉහළ පෙලේ නියෝජිතයන්ගේ වොෂින්ටන් සංචාරය නිම වීමත් සමග එක්සත් ජනපද සෙනෙට් සභාවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගෙන විත් ඇත්තේ ජාත්‍යන්තර සබඳතා විෂයයෙහි ජ්‍යෙෂ්ඨ තම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් බවයි නිව් ඔර්ලියන්ස්හි තුලේන් සරසවියේ සංවර්ධන ආර්ථික විද්‍යා මහාචාර්ය සෑම් සමරසිංහ සංදේශයට කියා සිටියේ.

සෙනෙට් සභික පිරිස තම යෝජනාව නම් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ කල් පවත්නා සාමයක් සඳහා අවශ්‍ය අභ්‍යන්තර ගොඩනැගීම, නැවත පදිංචිය සහ සංහිඳියාවට සහාය පළ කරන්නක් ලෙසින්.

එවන් යෝජනාවක් සම්බන්ධයෙන් කිසිවකු ප්‍රශ්න කරනු නැති බවයි මහාචාර්ය සමරසිංහ පවසන්නේ.

ජිනීවා යෝජනාවට බලපෑමක්

Image caption දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා උද්ඝෝෂණයක්

ඩිමොක්‍රටික් පක්ෂයේ සිව් දෙනකු සහ රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනකු විසින් සභා ගත කරනු ලැබූ යෝජනාව ජාත්‍යන්තර සබඳතා කමිටුවට යොමු කොට තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ම සහාය මීට දැක්වෙන බවට ඉඟියක් එයින් පළ වෙතැ’යි සඳහන් කළ මහාචාර්ය සෑම් සමරසිංහ යෝජනාව සම්මත වෙතොත් ශ්‍රී ලංකාව කෙරෙහි ජනාධිපති ඔබාමා ගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එමගින් බලපෑමක් වනු ඇතැයි විශ්වාස කළ හැකි වග පැවසූවේය.

මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට අදාලව යෝජනාවක් ගෙන ඒමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සැරසෙද්දී රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමගින් ඉකුත් මස අග ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වොෂින්ටනයේ දී පවසා තිබුනේ ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් විසින් මවනු ඇත්තේ ‘අවුල් ජාලයක්’ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර