සංක්‍රමණිකයන්ට එරෙහි 'සිතුවම් ව්‍යාපාරයක්'

Image copyright customs.gov.au

නීති විරෝධී ලෙසින් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ තවත් පිරිසක් අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසද්දී, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීමේ අරමුණින් සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.

ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් කඳවුරුවල වෙසෙන දේශපාලන රැකවරණ පතන්නන් විඳින ගැහැට නිරූපණය කෙරෙන සිතුවම් සහිත අත් පොතක්ද ඕස්ට්‍රේලියාවේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇතුලත්.

නීති විරෝධී ලෙසින් බෝට්ටුවකින් රටින් පලා යාමට උත්සාහ කළ කාන්තාවන් නම දෙනකු සහ දරුවන් හය දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් හැත්තෑ පස් දෙනකු මොරගොල්ලේදී අත් අඩංගුවට ගත් බවයි, මේ අතර පොලිසිය පවසන්නේ.

නාවික හමුදාව

එම පිරිස බදාදා සවස මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පැමිණවීමට නියමිත බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මුහුද මැද දීම සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමට නාවික හමුදාවට නියෝග කළ බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට මෑතදී විවේචන එල්ල වූ නමුත්, ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ඒ පිළිබඳව මෙතෙක් නිළ වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත.

විශේෂයෙන්ම ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ බව පෙනී යන බවයි, ලන්ඩනයේ ප්‍රකාශයට පත් කෙරෙන ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ.

සංක්‍රමණිකයන්ගේ ආගමනය වැළැක්වීමේ සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස ආණ්ඩුවේ බලධාරීන් ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බවද පුවත්පත පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර