ඔස්ට්‍රේලියාවත් චීනයත් ජිනීවා ගැන මත දෙකක

Image caption සෙනෙට් සභිකා ලී රියනන්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත වන අතරවාරයේ චීන රජය පවසා ඇත්තේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට විරෝධය පාන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ ඊළඟ මහ සමුලුව ජිනීවා හි පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබිය දී ඔස්ට්‍රේලියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ බහු පාක්ෂික යෝජනාව ගෙන ඒමට මුල් වූ නිව් සවුත් වේල්ස් සෙනෙට් සභිකා ලී රියනන් (Lee Rhiannon) බීබීසී සංදේශයට කියා සිටියේ මේ මගින් එක්සත් ජාතීන්ටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රබල පණිවුඩයක් ලබා දෙන බවයි.

“ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින මෙම යෝජනාව සම්මත වීම සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක්,” බවයි ඇය කියා සිටියේ.

Image copyright China News Service

ඕස්ට්‍රේලියානු යෝජනාවට පෙර චීන සංචාරයක දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ ජාතික සංහිඳියාව පිළිබඳව සමාලෝචනය යෙදුනු බව චීන රජය ප්‍රකාශ කරයි.

බදාදා බෙයිජිං නුවරදී විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන් යිං මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළේ අඟහරුවාදා මහාචාර්ය පීරිස් චීන විදේශ අමාත්‍ය වොන් යී සමග සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ ජනතාව තම අභ්‍යන්තර කටයුතු කළමනාකරණය කර ගෙන යාමේ දුර දක්නා ඥානයෙන් යුතු බව තමන් අදහන බව කී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ වෙනස්කම් විසඳා ගත යුත්තේ සමානතාව සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ සාකච්ඡාවෙන් ය යන්න චීනයේ දිගු කාලීන ප්‍රතිපත්තිය බව සඳහන් කළාය.

ජාතික නිදහස, ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට උපකාර සපයන බවයි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හුවා චුන් යිං ප්‍රකාශ කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන සිදුවීම් පිළිබද දේශිය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි.

එබඳු පරීක්ෂණයක් 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය තෙක් වන කෙටි කාල පරාසයකට සීමා නොකර තවත් ගැඹුරට, නො එසේ නම් පසු පසට ගෙන යමින්, එල්.ටී.ටී.ඊ ය සිදු කළ ක්‍රියා පිළිබඳව ද සොයා බැලිය යුතු බව , එජාපය විශ්වාස කරන බවත් එහි සඳහන්.

එබඳු පරීක්ෂණයක දී හෙළි වන තොරතුරු මත වැරදි කරුවන් බවට පත් වන සෑම කෙනෙකුට ම නීතිය පිළිගත් විධිවිධාන මත චෝදනා ඉදිරිපත් කළ යුතු බවයි මහලේකම් තිස්ස අත්තනායක සංදේශයට කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාව අරබයා සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව පිළිබඳ ව රජය ප්‍රකාශ කළේ ඇතැම් රටවල් වල විවිධ අවශ්‍යතා මත නිර්මාණය කරන ලද න්‍යාය පත්‍රයකට ශ්‍රී ලංකාව තල්ලු කිරීමේ උත්සාහයක් පවත්නා බවයි.

රජයේ හවුල් කාර පක්ෂ සමග එකඟතාවක් ඇති කර ගැනීමේ නොහැකියාව නිසා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉටු කිරීමට කල් ගත වන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන්ට පැවසුවේ.

කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව ශක්ති ප්‍රමාණයෙන් ජිනීවා සමුළු යෝජනාවට මුහුණ දීමට සුදානම් බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව වෙතින් සඟවන්නට දෙයක් නැති බව ද ප්‍රකාශ කළේය.