යුද අපරාධවලට සැක කෙරෙන ලාංකිකයන් බ්‍රිතාන්‍යයේ

Image caption 'දේශපාලන රැකවරණ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප වී ඇතත් පිටුවහල් කළ නොහැකියි'

යුද අපරාධ සිදු කර ඇති බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් බ්‍රිතාන්‍යයේ වාසය කරන බව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

දේශපාලන රැකවරණ පතා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති නමුත් එම පුද්ගලයන් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාවක් නැති බවයි බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විමසීමක් කළ බීබීසී යේ ටොම් බේට්ස්මන් පවසන්නේ.

‘වෙනත් රටවලදී මිනිස් ඝාතන ඇතුළු දරුණු අපරාධ කළ බවට සැලකෙන අය බ්‍රිතාන්‍යයට පැමිණ දේශපාලන රැකවරණ පතනවා. නොයෙකුත් හේතු මත එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප වීමෙන් අනතුරුව පවා මේ අය පිටුවහල් කිරීමට නොහැකි වී ඇත්තේ තමන්ගේ රටේ දී මොවුන් වධ හිංසාවන්ට හෝ මරණයට මුහුණ දීමට ඇති ඉඩ කඩ නිසා’ ටොම් බේට්ස්මන් තව දුරටත් කියා සිටියේය.

විවිධ රටවලින් පැමිණි, යුද අපරාධ සිදු කර ඇති බවට සැක කෙරෙන හතළිස් නව දෙනෙකු සිටින බව පවසන බ්‍රිතාන්‍ය බලධාරීන් ඒ අතර සිටින ලාංකිකයන්ගේ ගණන සහ ඔවුන් කර ඇති යුද අපරාධවල ස්වභාවය හෙළි කර නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර