ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'නිදහසක් නැති' නිදහස් වෙළඳ කලාපය

"නිදහස් වෙළඳ කලාපේ නිදහසක් නෑ තමයි, 1978 ඉඳලම. ඒක ඒ විදියටම අදත් එහෙමම තමයි," කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ස්ත්‍රී මධ්‍යස්ථානයේ චන්ද්‍රා දේවනාරායන බීබීසී සංදේශය සමඟ කථා බහ ආරම්භ කළේ එලෙසින්.

"පඩි නෑ, බෝඩින් හරියට නෑ. ළමයින්ට ජීවත් වෙන්න මදි හම්බ වෙන පඩිය. බෝඩින්වලට දීපුවහම ඒක ඉවරයි."

ඒ සියලු දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන විට වෘත්තීය සමිතියකට බැඳීමේ සිය හිමිකමට පවා වට බැඳුනු බවයි, කලාපයේ පැලෑ සහ සමාගමේ කර්මාන්ත ශාලාවේ මෑතක් වන තුරු සේවය කළ 26 හැවිරිදි කුමානායක නිලූෂි නාමිකා පවසන්නේ.

"එයාල කල්පනා කර කර ඉන්න ඇති යූනියන් එක කඩාකප්පල් කරන්නේ කොහොමද කියල. අපි සෙමින් වැඩ කළා කියල අපි 15 දෙනෙක් වැඩ තහනමට ලක් කරලා ලියුම් දුන්න," බවයි, ඇය එල්මෝ ප්‍රනාන්දු සමඟ කියා සිටියේ.

එහෙත් පැලෑ සහ සමාගමේ සාමාන්‍යාධිකාරී ෆ්‍රෙඩී ඩැනියල් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

"වෘත්තීය සමිතිය ආයතනය විසින් පිළි අරගෙන තියෙනව. වැටුප් සම්බන්ධයෙන් කථා කරනවා නම්, 2014 ට නිර්දේශ කරපු රුපියල් 1000 අපි 2013 දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳල ළමයින්ට ලබා දුන්න," යන්න නිලූෂි නාමිකාගේ චෝදනාවට සමාගමේ ප්‍රතිචාරයයි.

මේ අතර දරාගත නොහැකි තරම් ඉහල නිෂ්පාදන ඉලක්ක ලබා දී තිබෙන තත්වයක් යටතේ වෙළඳ කලාප සේවකයන් දැඩි පීඩනයකට නතු වී සිටින බවයි, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් අසේල ධර්මප්‍රිය දිසානායක මේ අතර පවසන්නේ.

"එකේදී එයාල කෑම කන්න යන්නේ නෑ. වැසිකිලි, කැසිකිලි යන්නේ නෑ. වතුර බොන්නේ නෑ මොකද වතුර බිවුවොත් කැසිකිලි යන්න වෙනවා, එතකොට නිෂ්පාදන ටාගට් කර ගන්න බැරි වෙනවා," යනුවෙන් ඔහු සංදේශයට කියා සිටියේය.

එමෙන්ම කම්කරුවන්ට මූලික වැටුපක් ලබා දීම වෙනුවට ඉලක්ක සපුරන අන්දමට දීමනාවක් දීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බැවින් සිය 'ශරීරයට වැඩ දෙමින්' සේවයේ යෙදීමට කම්කරුවන්ට සිදු වී තිබෙන බවද අසේල ධර්මප්‍රිය දිසානායක සඳහන් කරයි.