ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අල්ලස් පැමිණිලි ලැබුනොත් පියවර ගන්නවා - කොමිසම

මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වකීය වත්කම්වලට වඩා වැඩි මුදලක් වියදම් කරන සහ ඡන්දය ලබා ගැනීම පිණිස අල්ලස් ලබා දෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නේ නම් ඒ පිළිබඳව පියවර ගැනීමට සූදානම් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තවමත් ගත වී තිබෙන්නේ සතියකට ආසන්න කාලයක් පමණක් නමුත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අපේක්ෂකයන් අධික ලෙස මුදල් වියදම් කිරීම සහ ඡන්දායකයන්ට අල්ලස් ලෙසින් විවිධ තෑගි බෝග ලබාදීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙන බවයි, කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.

Image copyright ciaboc.gov.lk
Image caption ඡන්දය පතමින් තෑග්ගක්, ණයක්, යෝජනාවක් හෝ පොරොන්දුවක් ලබා දීම 'අල්ලසක්'

සිය ඡන්දය බලාපොරොත්තුවෙන්ම අල්ලස් දුන් බවට සාක්ෂි සහිතව පැමිණිල්ලක් ලැබෙන්නේ නම්, පියවර ගැනීමට තමන් සූදානම් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජයන්ත වික්‍රමරත්න බීබීසී සංදේශයට කියා සිටියේ.

එවැනි ක්‍රියාකාරකම් නීති විරෝධී නමුත්, පැමිණිලි ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන්ට ඒ පිළිබඳව ක්‍රියාකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද කොමසාරිස්වරයා පවසයි.

"බැලූ බැල්මට මේක අල්ලස් දීමක් කියලා හිතුවට, බාර ගන්න මිනිහා කියනවා නැහැ මේක අල්ලසක් නෙවෙයි මම සන්තෝසයෙන් ගත්තේ කියලා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"ඔය වැඩේ හොරෙන් කෙරෙනවා කියලා අපි දන්නවා. නමුත් මිනිස්සු ප්‍රකාශ දෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ."

'මැතිවරණයට කෝටි 80ක්'

එසේ අල්ලස් දෙන සහ සිය වත්කම්වලට වඩා වියදම් කරන අපේක්ෂකයන් පිළිබඳව තොරතුරු තමන්ට ලබාදෙන ලෙස අල්ලස් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"දැන් අපේක්ෂකයන් 2000 කට 3000 කට කන්න දෙනවා. ඒකට වියදම් කරන්නේ කවුද කියල අනාවරණය වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ආධාරකරුවෙක් වියදම් කරන්නේ. ඒ සම්බන්ධයෙන් හරි අනාවරණයක් වුනොත් අපිට ක්‍රියා කරන්න පුළුවන්," බවද කොමසාරිස්වරයා පවසයි.

Image copyright ciaboc.gov.lk
Image caption 'කරුණු සහිතව වෙන්න ඕනේ, අපිට එන ගොඩක් පැමිණිලි කරුණු නැතිවයි එන්නේ'

ශ්‍රී ලංකාවේ මින් පෙර පැවති මැතිවරණ ක්‍රමවලදී අපේක්ෂකයන්ගේ වියදම් ව්‍යාජ ලෙස හෙළිදරව් කළ අවස්ථාවලදී නීතියට ක්‍රියාවට නැගුන බවයි, කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.

වර්තමාන මැතිවරණ නීතියේ එවන් ප්‍රතිපාදනයක් නොමැති වීම මැතිවරණ වියදම් සීමා රහිතව ඉහල යාමට හේතුවක් වී ඇති බව කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට කියා සිටියේය.

"පළාත් සභා මැතිවරණවලදී සමහරවිට කෝටි 15 වියදම් කරනවා අපි දැක්කා. පාර්ලිමේන්තු මැතිවරණ වලදී කෝටි 80 වියදම් කරපු අය හිටියා. මේ මුදල ඔවුන්ට ලැබෙන වැටුපෙන් හෝ දීමනාවෙන් සෘජුව ලබාගැනීමට හැකියාවක් නැහැ," බවයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.

"මේ අපේක්ෂකයෝ මහජන නියෝජිතයෝ වුනාට පස්සේ විවිධ ක්‍රම මගින් මෙම මුදල් උපයා ගැනීමට උත්සාහ කරනවා."

මෙවර මැතිවරණයේද අල්ලස ලබාදීමේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබෙන බවත් කැෆේ සංවිධානය පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව ඡන්දය ලබාගැනීම පිණිස අපේක්ෂකයකු ඡන්දදායකයකුට තෑග්ගක්, ණයක්, යෝජනාවක් හෝ පොරොන්දුවක් ලබා දීම අල්ලස් ලෙසින් විග්‍රහ කෙරේ.