ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපති පොරොන්දු ඉටු කළේ නෑ - මහ ඇමති

ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප වරක්ම තමන් සමඟ ඉතා සුහදව සාකච්ඡා කළත් එම සාකච්ඡාවලදී ඔහු දුන් පොරොන්දු කිසිවක් තවමත් ඉටු කොට නොමැති බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ප්‍රකාශ කරයි.

මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ යාපනයේදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

"කතා කරන කොට අපට හුඟක් දේවල් දෙනවා කියලා පොරොන්දු වුනා. අන්තිමේදී අපිට ලැබුන දෙයක් නැහැ, අපිත් එක්ක හොඳට, ලස්සනට සාකච්ඡා කළා. නමුත් කිසි දෙයක් දීල නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

Image caption 'අපිත් එක්ක හොඳට, ලස්සනට සාකච්ඡා කළා. නමුත් කිසි දෙයක් දීල නැහැ'

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තමන් ඇතුළු උතුරු පළාත් සභාව තීරණය කළේ යුද අපරාධවලට වැරදිකරුවන්ට දඬුවම් දීමට තබා ඒ පිළිබඳව දේශීය පරීක්ෂණයක් පැවැත්වීම පවා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තත්වය හේතුවෙන් බවද, මහ ඇමතිවරයා සඳහන් කළේය.

'කළ කළ දේ පල පල දේ'

"එතන හිටපු මිනිස්සු දන්නවා එතන මොනවාද උනේ කියලා. 2009 මැයි 19 වෙනිදා මෙහෙමයි උනේ කියලා," බවයි මහ ඇමති විග්නේශ්වරන් පවසන්නේ.

Image copyright JDS
Image caption 'එතන හිටපු මිනිස්සු දන්නවා එතන මොනවාද උනේ කියලා'

"ඒක ගැන පරික්ෂා කරලා සම්පූර්ණ ඇත්ත දැන ගන්නේ නැතුව අපේ ආණ්ඩුව කියන්නේ එහෙම එකක් වුනේ නැහැ, අපේ හමුදාවේ බොහොම හොඳ මිනිස්සු ඉන්නේ කියලා. අරව මේවා කිව්වට ඇත්ත නැති වෙන්නේ නැහැනේ?."

තමන්ගේ ඥාතීන්ට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට අයිතියක් තිබෙන බව මහ ඇමතිවරයා අවධාරණය කරයි.

"ඇත්ත දැනගන්ඩ ඕනේ. ඇත්ත වශයෙන්ම කවුරු හරි වැරැද්දක් කරලා තියෙනව නම් එයාට දඬුවමක් දෙන්න ඕනේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"කළ කළ දේ පල පල දේ කියල ඕගොල්ලමනේ කියන්නේ. අන්න ඒක තමයි, කළ කළ දේ පල පල දේ."

උතුරේ රඳවා සිටින හමුදා සාමාජිකයන් ප්‍රමාණය අඩු කරන මෙන් තමන් කළ ඉල්ලීමට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් පළ වී නැති බවද මහ ඇමතිවරයා පවසයි.

උතුරේ හමුදාව

"අපි කියනවා 150,000 විතර හමුදාව ඉන්නවා කියලා. අපේ ජනාධිපතිතුමා යාපනයට ඇවිල්ලා කියනවා 12,000 යි ඉන්නේ කියල. එදාම හරි ඊට පස්සෙන්ද හරි ලලිත් වීරතුංග මහත්තය කියනවා 70,000 ඉන්නවා කියලා."

Image copyright president.gov.lk
Image caption 'ජනාධිපතිතුමා කියනවා 12,000 යි ඉන්නේ කියල: ලලිත් වීරතුංග මහත්තය කියනවා 70,000 ඉන්නවා කියලා'

උතුරේ රඳවා සිටින හමුදා භට පිරිස අඩු කරන මෙන් ඉල්ලා සිටින්නේ, උතුරේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට හමුදාව බාධා කරන නිසා බවද මහ ඇමති විග්නේශ්වරන් සංදේශයට පැවසීය.

"ඉඩකඩම් ඔක්කොම අරගෙන හමුදාවෙන් වවනවා. ධීවරයොත් හමුදාවේ, අපේ මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ. A9 පාරේ යනකොට තියෙන කඩ ඔක්කොම හමුදාව කරන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ නෑදෑයෝ නැත්නම් යාලුවෝ. උතුරු පළාතේ සම්පූර්ණ බලය හමුදාව අතේ තියෙන කොට අපි කොහොමද වැඩ කරගෙන යන්නේ?."

යුද්ධය පැවති සමයේ තම ජීවිත ආරක්ෂාව උදෙසා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ අදහස් පළ නොකිරීම හේතුවෙන් ඔවුන් එල්ටීටීඊයට සහාය දක්වන්නන් පිරිසක් ලෙසින් දකුණේ සිංහල ජනතාව වටහාගත් බව මහ ඇමතිවරයාගේ මතයයි.

එබැවින් දෙමළ ජාතික සන්ධානය දැන් කටයුතු කරන ආකාරය පිළිබඳව බහුතරයක් සිංහල ජනතාව නිසි ලෙසින් වටහා ගෙන නොමැති බවද ඔහු පවසයි.

"රට බෙදන්න නෙමෙයි, බලය බෙදන්නයි අපි අහන්නේ. එහෙම කියලයි අපිට ඡන්දය ලැබුනේ." යනුවෙන්ද විග්නේශ්වරන් මහ ඇමතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

"එහෙම කියල මිනිස්සු ඒක පිළිගත්තට පස්සේ, අපේ දෙමළ ජනතාවට සිංහල ජනතාව පරණ දේවල් මතක් කරගෙන ඔහොම කරන එක වැරදියි."

දෙමළ ජනතා ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබෙන තැන ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් විසඳුම් සෙවීම හැර තමන්ට විකල්පයක් නොමැති බව උතුරු පළාත් මහ ඇමතිවරයා අවධාරණය කරයි.