ගාන්ධි ඝාතනයේ වරද කරුවන්ගේ නිදහස ගැන අපේක්ෂා

Image caption ශාන්තන් මාතාව තිල්ලෙයි අම්බලම් මහේෂ්වරී උඩුප්පිඩි නිවාස ඉදිරිපිට

හිටපු ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ගේ මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා ලිහිල් කිරීමත් සමග ඔවුන්ගේ නිදහස පිළිබඳ අපේක්ෂා පල වෙමින් පවතී.

මරණයෙන් නිදහස ඉල්ලා කැරුණු අභියාචනා පිලිබඳ තීරණයක් ගැනීමට ඉන්දීය ජනාධිපතිවරුන් එකොළොස් වසරක් තරම් දීර්ඝ කාලයක් ගත කිරීම අභය දානය දීම ට හේතු පාදක වූ බවයි අග විනිසුරු පී සතාසිවම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව විසින් සලකා බලනු ලැබීමෙන් අනතුරුව මුරුගන්, ශාන්තන් හා පේරාරිවාලන් යන තිදෙනාට නිදහස ලැබෙනු ඇතැයි මරණීය දණ්ඩනයට නියම වී සිටියවුන් ගේ නීතිඥ වරයකු වන යුග් මොහිත් චෞදරී විශ්වාසය පළ කළේය.

'අමානුෂික' දඬුවමක්

‘පෝරකයේ සෙවනැල්ලේ මේ සා දිගු කාලයක් අයකු තබා ගැනීම අමානුෂික’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බවයි ඔහු බීබීසී හින්දි සේවයට පැවසුවේ.

1991 රාජීව් ගාන්ධි ඝාතනයේ වරදට පැනවූ මරණීය දණ්ඩනය ලිහිල් කරනු ලැබූ ශාන්තන් සහ මුරුගන් ශ්‍රී ලාංකිකයන්.

Image caption පේරාරිවාලන් මාතාව අර්පුදත් අම්මාල් චෙන්නායි හිදී

යාපනයේ උඩුප්පිඩි සිට බීබීසී ය හා කතා කරමින් සතුට පළ කළ 65 හැවිරිදි ශාන්තන් ගේ මව තිල්ලෙයි අම්බලම් මහේෂ්වරී පැවසුවේ විසි පස් වසරකින් තම පුත්‍රයා ජීවමාන අයුරින් දැක නැති බව යි.

ශාන්තන් නිදහස ලබනු ඇතැයි විශ්වාසය පළ කළ ඇය ‘තමන් මිය යාමට පෙර පුත්‍රයා හැබැහින් දැක ගැනීම,’ සිය අරමුණ බවයි ප්‍රකාශ කළේ.

අභය දානය ලද ඉන්දීය ජාතික පේරාරිවාලන් ගේ මව අර්පුදත් අම්මාල් මාධ්‍යවේදීන්ට කියා සිටියේ තමිල්නාඩු මහ ඇමැතිනිය තම පුතු ට නිදහස ලබා දීමට පියවර ගනු ඇති බවයි.

'ඓතිහාසික තීන්දුවක්'

Image copyright AP WIRE
Image caption රාජීව් ගාන්ධි අවමඟුල

උසාවි භූමියේ දී මරුමලර්ච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (MDMK) පක්ෂයේ නායක වයිකෝ මන්ත්‍රීවරයා සතුට පළ කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ‘ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන’ ඓතිහාසික තීන්දුවක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ‘දිරිගන්වන සුළු’ බව කී ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ මරණීය දණ්ඩනය මුළුමනින් ම අහෝසි කර දැමිය යුතු බවයි.

අඟහරුවාදා අභය දානය ලද තිදෙනා ඇතුළුව ඝාතනයට වරද කාරිය කැරුණු ඉන්දීය ජාතික නලිනි ශ්‍රීහරන් හට 1998 මරණ දඬුවම නියම කැරුණේ 1998 ජනවාරියේ දී.

1999 මැයි 11 වැනිදා පිරිමි තිදෙනාගේ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර ගත කරමින් නලිනිගේ සිර දඬුවම ලිහිල් කළේය.