මුදලට ක්‍රීඩා තරඟ පාවාදීම වැලැක්වීමේ නීතියක්

Image caption ක්‍රීඩා ඇමතිවරයා බීබීසියට පැමිණි අවස්ථාවක්

මුදලට ක්‍රීඩා තරඟ පාවා දීම වැළැක්‌වීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

විදේශ රටවල පැවැත්වෙන තරඟවලදී පමණක් නොව රට අභ්‍යන්තරයේ ක්‍රීඩා සමාජ අතර තරඟ වලදීත් ඉතා ම සුළු ප්‍රමාණයේ මුදලට පවා තරඟ පාවා දෙන බවට වාර්තා ලැබී ඇති බවයි ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ.

මුදලට තරඟ පාවා දීම වැළැක්‌වීමේ නීති සම්පාදනය කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට බ්‍රහස්පතින්දා කැබිනට් අනුමැතිය ලැබුණි.

“ තහනම් උත්තේජක පාවිච්චිය මැඩලීමට පියවර ගත් ආකාරය අනුව යමින් ක්‍රීඩා තරඟ මුදලට පාවා දීමේ අපචාරය පාලනය කිරීම සඳහාත් පියවර ගන්නා” බවයි ඇමතිවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

දැනුවත් කිරීමයි වැදගත්

එම නව පියවර අගය කරමින් සංදේශයට අදහස් දැක්වූ මහනුවර රග්බි සමාජයේ මලික් සමරවික්‍රම කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝක මට්ටමින් ද බලන විට රග්බි ක්‍රීඩාව තුළ මුදලට තරඟ පාවා දීම් ගැන වාර්තා නොවන බවයි.

නීතිය වැදගත් නමුත් ක්‍රීඩකයන් දැනුවත් කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්‍ෂ යෝගානන්ද විජේසුන්දර පෙන්වා දෙන්නේ.

“ක්‍රීඩාවේ සාරධර්ම ,ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ භූමිකා ගැන ශ්‍රී ලංකාව තුළ කතා කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට සිදු කෙරෙන්නේ ශරීරයට වධ දිදී පුහුණු කරන එක විතරයි” යෝගානන්ද විජේසුන්දර පවසයි.

ක්‍රිකට් රග්බි සහ පාපන්දු ඇතුළු සියලුම ක්‍රීඩාවන්ට බල පැවැත්වෙන නව නීතිය ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර