දකුණු අප්‍රිකාවේ සහ ලංකාවේ ප්‍රශ්න 'සමාන නෑ'

Image caption 'දකුණු අප්‍රිකානුවන් අපට කිසිම බලපැමක් කළේ නෑ'

වර්ණභේදවාදී පාලන සමයේ දකුණු අප්‍රිකාව මුහුණ දුන් ගැටළු සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය එකිනෙකට සමාන කළ නොහැකි බව සමාජ සේවා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදුනු ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත පිරිසක සාමාජිකයකු වූ අමාත්‍ය දේවානන්දා ඒ බව කියා සිටියේ, යලි සිය රට පැමිණීමෙන් අනතුරුව බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"ඔවුන්ගේ රටේ තිබෙන ප්‍රශ්න සහ අපේ රටේ තිබෙන ප්‍රශ්න සමාන කරන්න බැහැ. සමහර සමාන කම් තියෙන්න පුළුවන්. සමහර වෙනස්කම්," යනුවෙන්ද ඔහු පැවසීය.

'අභ්‍යන්තර විසඳුම්'

නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනද ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වූහ.

දකුණු අප‍්‍රිකාවේ සත්‍ය සහ ප‍්‍රතිසංධාන කොමිසමේ අත්දැකීම් ශ‍්‍රී ලංකා නියෝජිතයන් අධ්‍යයනය කළ බවයි, ඇමතිවරයා පවසන්නේ.

"අපි ඉගෙන ගත්තා ඒ රටේ තිබෙන තත්වය පදනම් කරගෙන ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් සොයා ගන්නා හැටි."

කිසියම් රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට අභ්‍යන්තර විසඳුම් සොයා ගත යුතු යයි ශ්‍රී ලංකා දූත පිරිස කළ සඳහනට දකුණු අප්‍රිකානු බලධාරීන්ගේ එකඟත්වය පළ වූ බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් තමන් දකුණු අප්‍රිකාවේදී සාකච්ඡා කළ කරුණු සහ දූත පිරිසේ ඉදිරි පියවර සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හෙළි කිරීම අමාත්‍ය දේවානන්දා ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර