CIFL ගිණුම් හිමියන් රහස් පොලිසියට

Image caption තැන්පතු අහිමි CIFL ගිනුම් හිමියෝ.

ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ලිපියක් යැවූ බවට චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කල බව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්න්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් (CIFL) ආයතනයේ මුදල් තැන්පත් කොට ඒවා ආපසු ලබා ගැනීමට නොහැකිව සිටින තැන්පත් කරුවෝ කියා සිටිති.

මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන CIFL බංකොලොත් වීම නිසා එහි රුපියල් කෝටි තුන්සිය පනහකට ආසන්න මුදල් ආයෝජනය කල හය දහසකට අධික ගිණුම් හිමියෝ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීමට නො හැකිව සිටිති.

මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ඉක්මනින් නො ලැබුණ හොත් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවක් පවසමින් ජනාධිපති ලේකම්වරයාට හා මහබැංකු අධිපතිවරයාට තම සංගමයේ නමින් ව්‍යාජ ලිපියක් යවා ඇති අතර එය ආණ්ඩුවේම ඇතැම් බලධාරීන්ගේ ක්‍රියාවක් වන බවයි (CIFL) ආයතනයේ තැන්පත් කරුවන්ගේ සංගමය පවසන්නේ.

ව්‍යාජ ලිපියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ලිපිය සහ ජිනීවා ගමනක් සම්බන්ධයෙන් තම සංගමයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වී.එස්. අබේරත්න ප්‍රකාශ කරයි.

Image caption සංගමයේ ලේකම් පී.කේ.මහින්දපාල

"ව්‍යාජ ලිපි ශීර්ෂ පාවිච්චි කරමින් සංගමයේ ලේකම්ගේ අත්සන හැටියට ව්‍යාජ අත්සනක් ද යොදා ජනාධිපති ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයට ලියුම් යවා තිබෙනවා. අපි විපක්ෂයේ සහයෝගයද ලබා ගනිමින් ජිනීවා යන බවට බොරු චිත්‍රයක් මවල තියෙනවා" සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වී එස්. අබේරත්න වැඩි දුරටත් කියා සිටියි.

ආණ්ඩුවේ බලධාරීන් තැන්පත්කරුවන්ගේ ගැටලු වලට විසඳුමක් ලබා නො දෙන පරිසරයක තම සංගමය මෙම ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, එවැනි අවස්ථාවක මෙම ලිපිය තම සංගමය හා ජනාධිපතිවරයා අමනාප කිරීමේ කුමන්ත්‍රණයක් වන බවත් වී.එස්. අබේරත්න පවසයි.

උපවාසයට දින තිස්පහක්

ඉහත කී ලිපිය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූ CIFL තැන්පත් කරුවන්ගේ සංගමයේ ලේකම් පී.කේ. මහින්දපාල පවසන්නේ,තමන් නො යැවූ ලිපියකට මහා බැංකුවෙන් තර්ජනාත්මක ස්වභාවයක් සහිත පිළිතුරක් ලැබුණ බවයි.

“ඒ ලියුම ලැබුන දිනට පසු දිනයේ සී.අයි.ඩිය අපට එන්න කිව්වා. මම ලිපිය ප්‍රතික්ෂේප කළා ම ඉන් ඔබ්බට ඒ ගැන ඇහුවේ නැහැ" පී.කේ. මහින්දපාල බීබීසියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ, ලිපියේ නිවැරදිතාවය දැන ගැනීම පිණිස අදාළ ප්‍රශ්න කිරීම සිදු වූ බවයි.

මේ අතර තමන් CIFL ආයතනයේ ආයෝජනය කල මුදල නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් තැන්පත් කරුවන් ආරම්භ කළ උපවාසයට අදට දින තිස් පහක් ගත වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර