බලපත් නැති ලාංකිකයන් සෞදියේ අතරමං

Immigrants in Saudi Arabia Image copyright AFP

පිටවීමේ බලපත්‍ර ලබා ගැනීමට නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන්සියයත් හාරසියයත් අතර පිරිසක් ආපසු සිය රටට පැමිණීමට නොහැකිව සිටින බව වාර්තාවේ.

අතරමං වුවන් පවසන්නේ තමන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් පිළිසරණක් නොමැති බවයි.

මේ පිරිස් වලට සෞදි රජය ලබා දුන් පොදු සමා කාලය තුල දී පිටවීමේ බලපත්‍ර ලබා ගැනීමට ද හැකිවී නැත.

දුරකථන ඇමතුම්

මැද පෙර දිග සංක්‍රමණිකයන් හා සමීපව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් මේ පිලි බඳව කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන්ට සෞදි අරාබියේ අතරමන්ව සිටින පිරිස් වලින් දුරකථන ඇමතුම් ලැබෙන බවයි.

මෙසේ පිටවීමේ බලපත්‍ර නොමැතිව සිටින පිරිස හාරසියයකට වැඩි විය හැකි බව සඳහන් කළ රාමනායක මන්ත්‍රීවරයා බොහෝ අය නිවෙස් වල සිරවී සිටින බවයි පවසන්නේ.

සෞදි අරාබි රජය විසින් සෑම වසරක දීම පොදු සමා කාලයක් ලබා දෙන බව පවසන විපක්ෂ මන්ත්‍රීවරයා එය ශ්‍රී ලංකා රජය විසින් දිනා ගත් අයිතිවාසිකමක් නොවන බව පැවසුවේය.

නිවෙස් වල සිර වී සිටින පුද්ගලයන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර පණිවිඩ හුවමාරුවක් සිදු වීමට සෞදි නීතිය යටතේ අවකාශයක් නැති බවයි ඔහු පවසන්නේ.

Image copyright parliament.lk
Image caption එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

පොදු සමා කාලය තුල පිටවීමේ අවසර පත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් වලට තානාපති කාර්යාලයට නොපැමිණෙන ලෙස උපදෙස් දී තිබීම නිසා ඔවුන් ට ඒ අසල පිහිටි පිට්ටනියක සහ වෙනත් ස්ථානවල රැඳී සිටීමට සිදුවී තිබුණු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

“ඔවුන්ට වතුර බිඳක් හෝ ලබා දීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වූයේ නැහැ,” යි රාමනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

පොදු සමාව

එහෙත් ඉන්දුනීසියාව, ඉතියෝපියාව නේපාලය යන රටවල තානාපති කාර්යාල මගින් පොදු සමාවෙන් ප්‍රයෝජනයට ගැනීමට පැමිණි එම රටවල ශ්‍රමිකයන්ට කෑම බීම, ඉඳුම් හිටුම් ආදිය ලබා දී ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත් බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසුවේය.

ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන්ට පවා සම්බන්ධ වීමට නොහැකි බව කියා සිටි ඔහු එසේ නම් 'එරට සිටින ශ්‍රමිකයන් මුහුණ දෙන්නේ කුමන තත්ත්වයකටද යන්න පැහැදිලිව බවයි,' කියා සිටියේ.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ගෙන් මේ ගැන විමසීමට බීබීසීය ගත් උත්සාහය අසාර්ථක විය.