'මානව හිමිකම් රැකීමට සාමය තිබිය යුතුයි'

Image caption කොළඹ දී මාධ්‍යවේදීන් ඇමතූ ඇෆ්ගනිස්තානු ජනාධිපති හමීඩ් කර්සායි

රටක මානව අයිතිවාසිකම් තහවුරු වීමට නම් එම රට තුළ සාමය ස්ථාපිත විය යුතු බව ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරයක යෙදී සිටින ඇෆ්ගනිස්තානු ජනාධිපති හමීඩ් කර්සායි ප්‍රකාශ කළේය.

කොළඹ දී මාධ්‍යවේදීන් ඇමතූ ඇෆ්ගනිස්තානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වර්තමානයේ ලබා ඇති ආර්ථික හා සමාජීය දියුණුව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාවට සිය ප්‍රශංසාව පළ කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ ද මෙවන් තත්වයක් ඇති කිරීමට තමන් උත්සාහ කරමින් සිටින බවයි.

වෙනස

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර වෙනස ශ්‍රී ලංකාව සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමත්, ඇෆ්ගනිස්තානය තවමත් මුළුමනින් ම සාමය අත් කර ගැනීමට නොහැකිව ප්‍රචණ්ඩත්වය අත්දකිමින් සිටීමත් බව හමීඩ් කර්සායි පෙන්වා දුන්නේය.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මෙම මාධ්‍ය හමුව ආරම්භයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රිලංකාවේ හිතවත් රාජ්‍යයන් මෙම යෝජනාවට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලබා දෙන බවයි.

ගිවිසුම්

ජනතිපති මහින්ද රාජපක්ෂ සහ ඇෆ්ගනිස්තානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡා වලින් පසු ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබා දීම, ඇෆ්ගනිස්තානු හෙදියන් ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම ඇතුළු අධ්‍යාපනය සහ ක්‍රීඩා ක්ෂේත්‍රයන්ට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරුණි

හමීඩ් කර්සායි අප්‍රේල් මස සිය ජනතිපති ධුරයෙන් සමු ගන්නා අතර නව ජනපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ලබන මස ජනාධිපතිවරණයක් පවත් වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර