වනාතමුල්ලේ නිවාස කැඩීම නතර කෙරෙන එකඟතාවයක්

Image copyright b

කොළඹ , වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමක් සිදු නොකරන බවට නාගරික සංවර්ධන අධිකාරිය මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් දුන් බව පැමිණිල්ලේ නීතිවේදී සුනිල් වටගල පවසයි.

සිය නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව වනාතමුල්ල නිවාස සුරැකීමේ සංගමය ගොනු කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් එම ප්‍රතිඥාව දුන් බවයි නීතිවේදියා සඳහන් කළේ.

ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය නම් එය රටේ පිළිගත් නීතියට අනුව කළ යුතු බවට තම පාර්ශවය මතු කළ තර්කය හමුවේ පසුබෑමට ලක් වූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ප්‍රතිඥාව දුන් බව ඔහු කියාසිටී.

මෙම පොරොන්දුව පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිදැයි සංදේශය වනාතමුල්ල නිවාස සුරැකීමේ සංගමයේ භාණ්ඩාගාරික ඩි .කේ. නිශාන්ත ගෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, මානව හිමිකම් කොමිසම හමුවේ ලිඛිතව මෙම පොරොන්දුව සටහන් කොට ඇති නිසා ඒ පිළිබඳ ව තරමක හෝ විශ්වාසයක් තැබිය හැකි බවයි.