ශ්‍රී ලංකාව දේශපාලන පාපන්දුවක්-විදේශ ඇමති ජී එල් පීරිස්

gl pieris meets navi pilai
Image caption විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ ගැසුණු අවස්ථාව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ රටවල් කීපයක් කටයුතු කරන අකාරය හේතුවෙන් ජාතීන් අතරේ සංහිඳියාව ගොඩ නගා ගැනීම අසීරු වී ඇති බව විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේට දන්වා සිටි බව ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය සහ රටවල් කීපයක් ශ්‍රී ලංකාව් කෙරේ ඍනාත්මක බලපෑමක් ඇතිවෙන අන්දමින් සොයා බැලීම් හේතුවෙන් ශ්‍රි ලංකාවේ සහ විදේශයන්හි වෙසෙමින් බෙදුම්වාදී පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් වඩාත් දරදඬු අකාරයකට කටයුතු කරන බව ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේට කියා සිටි බව ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වෙනත් රටවල මැතිවරණ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දේශපාලන පාපන්දුවක් සේ යොදා ගැනීම කනගාටුවට කරුණක් බව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්වා දුන් බව තානපති කාර්යාල නිවේදනයේ සඳහන්.

දෙමළ ජනතාව බහුලව වෙසෙන විදේශ රටවල දේශපාලනඥයන් එම ජනයාගේ ඡන්ද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔවුන්ට වාසිදායක ලෙස පාවිච්චි කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කර ඇත.

මහා කොමසාරිස්වරිය හමුවූ අවස්ථාවේදී ඇය තම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කළ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරේ ඇති විශ්වාසය පලුදු වීමට බලපාන හේතුවක් බව ඇයට විදේශ ඇමතිවරයා පෙන්වා දුන් බවයි, ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

ජිනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙන රටවල්වල දුත පිරිස්වල නායකයින් මානව හිමිකම් කොමසාරිස්වරිය මුණගැසීමේ සම්ප්‍රදායක් ඇති බවත්, එම සම්ප්‍රදාය ඉටු කිරීම සඳහා විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ මුන ගැසුණු බවත් ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය කියා සිටී.