ඇමති බද්දියුදින් සමාව ඉල්ලයි

 ඇමති රිෂාඩ් බද්දියුදින්
Image caption ඇමති රිෂාඩ් බද්දියුදින්

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහර දී එහි මහේස්ත්‍රාත්වරයාට තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ඇමති රිෂාඩ් බද්දියුදින් අද (සිකුරාදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම සිද්ධියෙන් ඇමතිවරයා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ජ්‍යෙෂ්ට නීතිවේදීන් පිරිසක් ගොනු කල පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි , ඇමතිවරයාගේ සමාව අයැදීම සිදු කෙරුණේ..

ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා සමාව අයදින ලියැවිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ සිද්ධියෙන් මන්නාරම හිටපු මහේස්ත්‍රාත්වරයාට යම් සිත් තැවුලක් සිදු වී නම් ඒ පිළිබඳ ව ඇමතිවරයා කනගාටුව පළ කරන බවයි.

මෙම සිද්ධියේ දී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් ඇමතිවරයා තුළ නො තිබූ බව සඳහන් කළ නීතිවේදියා නීතියේ සහ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන බවට ඇමතිවරයා පොරොන්දු වන බවත් කියා සිටියේය.

ඇමතිවරයාගේ ස්ථාවරය පිළිගත් පැමිණිලිකාර පාර්ශවයේ නීතිවේදීහු නඩුව සමථයකට පත් කර ගැනීමට එකඟ වූහ.

එහෙත් අදාළ නඩුව මුලදී විභාගයට ගත් අවස්ථාවේ දී රිෂාඩ් බද්දියුදින් ඇමතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමන් අධිකරණයට අපහාස කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එහෙත් ඇමතිවරයා එම ස්ථාවරය වෙනස් කොට අධිකරණය හමුවේ සමාව අයැදීම අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා සටන් කල කණ්ඩායම් ලැබූ ජයග්‍රහණයකැයි පැමිණිලි පාර්ශවයේ නීතිවේදියකු වන ජේ.සි.වැලිඅමුණ කියා සිටියේය.

‘’පසුගිය කාලයේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධීන් ගණනාවක්ම වාර්තා වුනා. එහෙත් මෙම සිද්ධියයි අධිකරණය හමුවට පැමිණ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වය සහිතව විභාග කෙරුණේ. මේ ගැන අපට සතුටු වන්න පුළුවන්. ‘’යැයි නීතිවේදී වැලිඅමුණ ප්‍රකාශ කළේය.

අනතුරුව, මෙම නඩු විභාගයෙන් ඇමතිවරයා මුදා හැරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.