එජා මහ කොමසාරිස් බලතල ජිනීවාහි ප්‍රශ්න කෙරේ

Image copyright Reuters

අද, අඟහරුවාදා ජිනීවා නුවර පැවති මානව හිමිකම් මණ්ඩලයේ නිල නොවන දෙවැනි වටයේ සාකච්ජාවේදී අන්තර් ජාතික යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්විණ.

ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව ශ්‍රී ලංකාවට පක්ෂව මෙන්ම විපක්ෂව කථා කළ රටවල ද පැසසුමට ලක්ව තිබේ.

කියුබාව, චීනය ,පාකිස්තානය යන රටවල් පවා තමන් ඉදිරිපත් කළ අදහස් පවා දෙවැනි කෙට්‍රුම් පතට ඇතුළත් කොට තිබීම ගැන එම රටවල් ප්‍රසාදය පල කළ බවයි ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ.

යෝජනා කොට ඇති පරිදි, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් කිරීමට බලතල පැවරී තිබේද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුනු බවයි ඔහු පැවසුවේ.

බලතල

පාකිස්තානය සහ ඊජිප්තුව වැනි රටවල් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට එවැනි බලතල නැති බවයි.

නමුත් ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයා විසින් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1994 සම්මත කරගන්නා ලද යෝජනා වල සිට මෙවැනි පරීක්ෂණ කළ අවස්ථා අටක් ඇති බවයි.

සමහර අවස්තාවලදී අදාළ රටවල් විසින් කරන ලද ඉල්ලීම් අනුවද, තවත් අවස්ථාවන්හි මහ ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම් අනුවද සමහර අවස්තාවලදී මානව හිමිකම් කවුන්සලය විසින් කරන ලද ඉල්ලීම් අනුවද එවැනි පරීක්ෂණ සිදු කොට ඇති බව ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරිය කරුණු පැහැදිලි කළ බවයි ඔහු පැවසුවේ.

නීතිමය බලය

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කොට තිබුණේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරියට නීතිමය බලයක් හෝ මුදල් ප්‍රතිපාදන හෝ නොමැති බවයි.

අරමුදල් පිළිබඳ ප්‍රශ්නය මියන්මාරය විසින් මතු කළ බවයි මානව හිමිකම් ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ.

ඉදිරිපත්ව ඇති යෝජනාවේ ස්වරූපය අනුව එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට ඒ සඳහා අරමුදල් සොයා ගත හැකි බවත් සම්පත් ඇති බවත් මීට කලින්ද එවැනි විමර්ශන සඳහා සම්පත් යොදා ගෙන ඇති බව ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරිය විසින් පෙන්වා දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

යෝජිත සංශෝධිත යෝජනාව මගින් පරීක්ෂණයක් පැවැත්වෙන කාල වකවානු පිළිබඳව සඳහන් කොට නැති හෙයින් ඒ පිළිබඳව බොහෝ රටවල් විමසා සිටි බවයි මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය සඳහන් කළේ.

මූලාසනයෙන් ඊට ලැබුණ පිළිතුර වූයේ පත් කරනු ලබන කොමිසමකට නිදහසේ වැඩ කිරීමට ඉඩ ලබා දීම සඳහා කාල වකවානු නියම කොට නැති බවයි.