හංවැල්ල ජනතාවට 'පොලිසියෙන් තර්ජන'

ඡායාරූප මූලාශ්‍රය, KS Udayakumar
'පොලිසියට භාර නොවුනොත් පියා අත් අඩංගුවට ගන්නා බවට පොලිසිය දැනුම් දුන්නා'
පොලිසියෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිලි නොකරන මෙන් හංවැල්ල, තුන්නානේ ජනතාවට තර්ජන එල්ල වී ඇති බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති.
මානව හිමිකම් කොමිසම ඉදිරිපස දී මාධ්‍යවේදීන් අමතා කරුණු දැක්වූ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ පොලිසියෙන් සිදුවන හිරිහැර පිළිබඳව තුන්නානවාසීන් පණස් දෙනෙකු පමණ පැමිණිලි කිරීම සඳහා සිකුරාදා පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවට පැමිණීමට සූදානමින් සිටි බවයි.
ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් එල්ලවූ බලපෑම් හේතුවෙන් ඔවුන් කොමිසම හමුවට නොපැමිණි නමුත් කැළණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
'පියා අත් අඩංගුවට ගන්නවා'
තමන් පොලිසියට භාර නොවුවහොත් තම පියා අත් අඩංගුවට ගන්නා බවට පොලිසිය දැනුම් දී ඇති බව එහිදී අදහස් දැක්වූ පැමිණිල්ලක් ඉදිරිපත් කළ තුන්නාන ප්‍රදේශවාසියකු වන හසන්ත රණසිංහ කියා සිටියේය.
ප්‍රදේශයේ කම්හලකින් පිටවන විෂ වායුව පාලනය කිරීමට පියවර නොගන්නා බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පසුගිය ඉරිදා දියත් කළ උද්ඝෝෂණයකදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර ගැටුමක් හට ගත් අතර, එහිදී උද්ඝෝෂකයන් කපා දැමූ ගසකට යටවූ බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන රෝහලේදී මිය ගියේය.
එය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙසින් සලකා පරීක්ෂණ පැවැත්වෙන බවයි, පොලිසිය පවසන්නේ.
හංවැල්ල ප්‍රදේශවාසීන් පැමිණිලිවලට ප්‍රමුඛත්වයක් දී විභාග කිරීමට තීන්දු කර ඇති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.