'අත්අඩංගුවට ගැනීම් ගැන පරීක්ෂණ අවශ්‍යයි'

Image caption මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ

පසුගිය දා කිලිනොච්චියේදී පොලිසිය විසින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ පවසති.

ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් ජෙයකුමාරී සහ ඇගේ දියණිය වන විභූශිකා අත්අඩංගුවට ගැනීම සාපරාධී සහ අසාධාරණ ක්‍රියාවක් වන අතර මව සහ දියණිය වෙන් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි මන්නාරම රදගුරු තුමා කියා සිටියේ.

යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ සිය පුතා අතුරුදහන්ව සිටින බව පවසන ජයකුමාරි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයේ සංචාරයක යෙදුණ අවස්ථාවේ උද්ඝෝෂණය කළ පිරිස අතර පෙරමුණේම සිටි කාන්තාවක්.

මේ පිළිබඳව සොයා බැලීමට කිලිනොච්චියට ගිය මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට නිදහස් කර ඇතත් මානව හිමිකම් ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බව රදගුරු හිමිපාණෝ පවසති.

රායප්පු ජෝශප් රදගුරු තුමා මේ බව කියා සිටියේ මන්නාරමේ පැවති උපවාසයකදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර