රුකී, ප්‍රවීන් පියතුමාගේ තහංචි 'ඉවත් කරන්න'

Image copyright www.lankanewsweb.com
Image caption 'අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කැරෙන නියෝගයක් පැනවිය හැක්කේ හදිසි නීති අවස්ථාවක දි පමණියි'

සැකපිට අත් අඩංගුවට ගෙන පසුව නිදහස් වූ රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පැනවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කනස්සල්ල පළ කරයි.

"අදහස් ප්‍රකාශ කිරිමේ පුරවැසියන් සතු නිදහස මූලික මානව අයිතිවාසිකමක් වන අතර, එය සීමා කළ හැක්කේ විශේෂ අවස්ථාවන්හිදි පමණකි," බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ.

පසුගිය 16වන දින කිලිනොච්චියේදී අත් අඩංගුවට ගැනුණු රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා දීර්ඝ ප්‍රශ්ණ කිරිම් වලින් අනතුරුව කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කෙරිණ.

තමන් අත් අඩංගුවේ දී මුහුණ දුන් තත්ත්වය ද ඊට පාදක වූ කරුණු කාරණා ද මහජනයා හමුවේ ප්‍රකාශ කිරීමෙන් ඔවුන් දෙදෙනා වළක්වන පරිදි පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීම කනසල්ලට කරුණක් බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ.

'හදිසි තත්වයකදී පමණයි'

ත්‍රස්තවාදි විමර්ෂණ කොට්ඨාශය සිදු කරමින් පවතින විමර්ශණවලට අදාල තොරතුරැ හෝ ප්‍රකාශ දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයන්ට ලබා දීමෙන් නඩුවේ ඉදිරි විමර්ශණවලට බාධා විය හැකි බැවින් එයින් වැළකී සිටින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.

මෙයට අමතරව ඔවුන් දෙදෙනොගේ විදේශ ගමන් බලපත්‍ර අත් අඩංඟුවට ගැනීමටත් පරිගණක සහ ජංගම දුරකථන සිම් කාඩ් අත්ඩංඟුවට ගැනීමටත් වෙනම අධිකරණ නියෝග දෙකක් පොලිසිය විසින් ලබා ගෙන තිබේ.

ශ්‍රි ලංකා ව්‍යවස්ථාවෙහි මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ ද මූලික මානව හිමිකමක් ලෙස අර්ථ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කැරෙන නියෝගයක් පැනවිය හැක්කේ හදිසි නීති අවස්ථාවක් ප්‍රකාශ කර ඇති සුවිශේෂ තත්ත්වයක දි පමණක් වන අතර, වර්තමානයේ ශ්‍රි ලංකාවේ එවැනි තත්ත්වයක් නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

"මෙම නියෝගය පණවන ලද්දේ රුකී ප්‍රනාන්දු තමා අත් අඩංගුවට ගැනීම පිළිබඳව සීඑන්එන් රූපවාහිනී සහ බීබීසී සන්දේශය සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ජා වලින් පසුව," බව පවසන නිවේදනය රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා මත පණවා ඇති මෙම නියෝගය ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර