ජිනීවා: 'හංගලා ගහලා'

Image copyright AFP
Image caption 'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා'

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජිනීවා යෝජනාවේ සඳහන් නො වීම ශ්‍රී ලංකාව ලබා ගත් 'යම් ජයග්‍රහණයක්' බව රජය ප්‍රකාශ කළේය.

බොහෝ රටවලින් සහාය නො ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණය යෝජනාවට ඇතුළු වී නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය.

නමුත් අවසන් මොහොතේ හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව යෝජනාවට එක් කළ හැකි තත්වයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

'මෙතැන ප්‍රශ්නය තමයි අවසන් මොහොතේ හෝ ඔවුන්ට මෙයට සංශෝධනයක් ගෙන ඒමට හැකි වීම, ඒ නිසා ඒ පිළිබඳ ව වැඩිය සතුටට පවත්වන්න නරකයි' අමාත්‍ය සිරිපාල ද සිල්වා තව දුරටත් කියා සිටියේය.

දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සෘජුවම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් නොවුවත් ඒ සදහා යම් පසුබිමක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා, අන්තර්ජාතික පරීක්ෂණයකට යම් පසුබිමක් සකස් කරලා තියෙනවා’ යැයි පවසන නිමල් සිරිපාල ද සිල්වා, වර්තමාන යෝජනාවට ද ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් පළ කරන බව කියා සිටියේ ය.

'ඡන්දෙට ජිනීවා'

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගී ඇති චෝදනාවලට පිළිතුර දීමට පැහැදිලි වැඩපිළිවලක් තම රජය ගෙන ගිය බව පැවසූ අමාත්‍යවරයා එම වැඩපිළි තුළින් යම් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කියා සිටියේය.

ජිනිවා යෝජනාව පරාජය කිරීම රජයේ උත්සාහය බැවින් ඒ සඳහා සාමාජික රටවලින් ඡන්දය බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

මේ අතර රටේ ඡන්දයක් පැවැත්වෙන සෑම මොහොතක ම මෙලෙස ජාත්‍යන්තර මැදිහත් වීම ප්‍රබල වීම ආණ්ඩුවේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් සහයෝගයෙන් සිදු වන දෙයක් ද යන්න සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

මැතිවරණයක් පැවැත්වෙන විට ජිනීවා සමුළුවක් හෝ රටේ සමුළුවක් පැවැත් වීම පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබුණු බවයි එහි නායක අනුර කුමාර දිසානායක සඳුදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ.