විල්පත්තු විනාශය ගැන 'බලධාරීන් නිහඬයි’

Image copyright bbc

විල්පත්තුව අභය භුමියේ දැනට සිදු කරන අනවසර ඉදිකිරීම් වහාම නැවැත්වීමට ක්‍රියා කරන ලෙස පරිසර සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මේ වන විට විල්පත්තුව අභය භුමියේ උතුරු කොටසේ අනවසරයෙන් කුඩාරම් හා ස්ථිර ඉදිකිරීම් සිදු කරන බවයි ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් ප්‍රකාශ කළේ.

ලංකාවේ සුවිශේෂිම පරිසර පද්ධතියක මෙවැනි අනවසර ක්‍රියා සිදු විමට ඉඩදී බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව ද පරිසරවේදීන් විමතියට පත්ව සිටින බවත් ඔහු පැවසීය.

පුත්තලම, අනුරාධපුරය, මන්නාරම යන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 03 කට මායිම්ව විල්පත්තුව වන උද්‍යානය පිහිටා තිබෙන අතර මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 දී.

හෙක්ටයාර 131693 ක ප්‍රදේශයක පැතිර පවතින විල්පත්තුව වන උද්‍යානය 1947 නොවැම්බර් මාසයේදී අභය භුමියක් ලෙස ප්‍රකාශ කෙරුණි.

විල්පත්තුව උතුරු අභය භුමියේ ප්‍රමාණය අක්කර 4640 ක් වන අතර මෙහි මේ වන විට සිදුකරන අනවසර ඉදිකිරීම් විල්පත්තුව වන උද්‍යානයටද තදින්ම බලපා තිබේ.

විල්පත්තුව ශ්‍රී ලංකාවේදී දිවියා, වළහා සහ අලියා පහසුවෙන් බලා ගත හැකි වනෝද්‍යානයක්.

උතුරු විල්පත්තුවේ සිදු වන අනවසර ක්‍රියා නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විල්පත්තුව දකුණ ප්‍රදේශයේ තබ්බෝව අභය භුමියේ ජිවත් වන ජනතාව කනස්සල්ලට පත් ව සිටිති.

වසර 15 ක සිට ප්‍රදේශයේ දිවි ගෙවන තමන්ට මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පවසන මේ ජනතාව, තමන්ට එක නීතියකුත් උතුරු අභය භුමියේ අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා කියා සිටියේ විල්පත්තුව පිළිබද සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

විල්පත්තුව උතුරු අභය භුමියේ මේ වන විට තාවකාලික කුඩාරම් ගණනාවක් ඉදිකර තිබෙන බව පිළිගත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩි. රත්නායක අනවසර ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද කියා සිටියේය.

එසේ ඉවත් නොවුනහොත් ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වනජිවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සංදේශයට පැවසීය.