විස්සයි විස්ස; ඉරණම තීන්දු කෙරෙන තරඟය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තීරණාත්මක සටන ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම් ක්‍රීඩකයෝ ළකුණු 119 කට දැවී ගියහ.

ශ්‍රී ලංකා ඉණිමේ විශේෂත්වයක් වුනේ නියමිත ඕවර් විස්ස ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වීම.ඔවුන් සියලු දෙනාම පන්දු ඕවර් 19.2 කදී දවා ලීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වුහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලියේ දී මුහුණ දෙන තීරණාත්මක තරඟය මෙය වී ඇති අතර,තරඟාවලිය තුල රැඳී සිටීමට නම් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති.

බංග්ලාදේශයේ චිතගොං නගරයේයි තරඟය පැවැත්වෙන්නේ.

අද තරඟයේදී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට පවරා පන්දු රැකීම තෝරා ගනිමින් තරඟයේ වාසිය ඔවුන් අතට ගත්හ.

පන්දුවට පහර දීම ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය නොවූ අතර, මුල් පෙළේ පිතිකරුවෝ සියලු දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියහ.

විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායම,සිය නායක දිනේෂ් චන්දිමාල් නොමැතිවයි, අද තරඟයට මුහුණ දෙන්නේ.

මින් පෙර තරඟයකදී අදාළ කාල සීමාව ඇතුළත නියමිත පන්දු ඕවර් සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනමකට යටත් කරනු ලැබීම හේතුවෙනුයි ඔහුට මේ තරඟය අහිමි කෙරුණේ.

මෙම තරඟාවලිය ආරම්භයේ පටන් දක්ෂතා පෙන්නුම් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය තීරණාත්මක එකක් බවට පත් වුණේ, පසුගිය දා එංගලන්ත කණ්ඩායමත් සමඟ පැවැත්වුන තරඟය පරාජය වීම හේතුවෙන්.

අද තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ලසිත් මාලිංග.

නවසීලන්ත කණ්ඩායම මේවනවිට සිය ඉණිම ආරම්භ කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර