ජනතාව අපි ගැන ප්‍රබල විශ්වාසයක් තබලා -ෆොන්සේකා

Image copyright Getty
Image caption 'අවි ගත් මැරයෝ අපිට පහර දුන්නා' සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් විවිධ බාධක හමුවේ තම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව තමන් සතුටු වන බව පැවසුවේය.

‘මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵල ගැන ඉතා සතුටට පත් වෙනවා, අපි අභියෝග කළේ අත්දැකීම් බහුල දේශපාලන පක්ෂ වලට, අපි හිතනවා මේ කෙටි කාලය තුළ ජනතාව අපි ගැන ප්‍රබල විශ්වාසයක් තියල තියෙනවා කියලා’ සරත් ෆොන්සේකා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බස්නාහිරින් අසන 9 කුත් දකුණෙන් අසන 3 කුත් මෙවර දිනා ගෙන ඇත.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ දී තම පක්ෂයට විවිධ බාධා සිදු වුනු බව පවසන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා නවක පක්ෂයක් නිසා තම පක්ෂයෙන්ද විවිධ වැරදීම් සිදු වුණු බවත් ඉදිරියේ දී ඒවා නිවැරදි කර ගෙන ශක්තිමත්ව ඉදිරියට යන බවයි පවසන්නේ.

‘සමහර ප්‍රදේශවලට අපට යන්න අවසර දුන්නේ නැහැ, හම්බන්තොට අපේ රැස්වීම් අටක් තිබ්බ, ඒ එකක් වත් කරන්න දුන්නේ නැහැ, අවි ගත් මැරයෝ අපිට පහර දුන්නා, එවැනි ඉතා දුෂ්කර මාර්ගයක් ඇවිල්ල තමයි අපි මේ මැතිවරණය පැවැත් වුයේ’ සරත් ෆොන්සේකා පැවසීය.

ඇතැම් අවස්ථාවල පොලිසියද අනවශ්‍ය ලෙස තම පක්ෂයට එරෙහිව කටයුතු කළ බවයි හිටපු හමුදාපතිවරයා පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර