ජාත්‍යන්තර අධිකරණයට 'කැඳවන්න පුළුවන්'

Image copyright PA
Image caption 'වරෙන්තු නිකුත් කළ යුතුද, නැද්ද කියල ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දු කරාවි'

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසයි.

ඉබාරි (IBAHRI) හෙවත් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

"චෝදනා සනාථ කෙරුනොත් ඒක ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පැමිණිලිකරු වෙත යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ වරෙන්තු නිකුත් කළ යුතුද, නැද්ද කියල ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දු කරාවි, ලඟදි ඔවුන් සුඩානයේදී කළා වගේ," යනුවෙන් ඇය සඳහන් කළාය.

"ඒත් මම හිතනවා, චෝදනා ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව මේක ඒ විදියට ජාත්‍යන්තර අධිකරණයට යොමු කෙරුණොත් ඒක ඉතාමත්ම කණගාටුදායක තත්වයක්."

'ලංකාවට ඇතුළු වෙන්න බෑ'

මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ ප්‍රකාර ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම පිණිස මහ කොමසාරිස්වරිය පත් කරන පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ආණ්ඩුව අවසර නොදෙන බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

එසේ වුවහොත් පරීක්ෂණය ක්‍රියාත්මක කළ හැකි දැයි සංදේශය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් කෙනඩි ආදිපාදවරිය කියා සිටියේ, එසේ වුවහොත් පැහැදිලිවම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට පත් රටක් බවට පත් වනු ඇති බවයි.

"පරීක්ෂණය කරන්න දෙන්නේ නැත්නම්, ඒකාධිපති රටක සියලු ස්වභාවයන් පෙන්නුම් කරනවා නම්, නීතියේ ආධිපත්‍යයට ගරු නොකරනවා නම්, එතකොට ඒ රටට ජාත්‍යන්තර තලයේ තිබෙන ගෞරවය නැති වෙලා අපකීර්තිමත් රටක් බවට පත් වෙනවා," යනුවෙන්ද ඇය සඳහා කළාය.

"නමුත් ශ්‍රී ලංකාව ඒ පාරේ නොයනවා දකින්න මම කැමතියි."

අයර්ලන්ත සැකකරුවන්

ජිනීවා යෝජනාව සම්මත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් සිටින මෙන්ද ඉබාරි ආයතනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

Image caption ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය 'නීති විරෝධී බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මතයයි'

විශේෂයෙන්ම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව නීතිවේදීන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන්ට එල්ල වන තර්ජන උත්සන්න වී ඇති බව පවසන හෙළනා කෙනඩි ආදිපාදවරිය, විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් එල්ටීටීඊය යලි ගොඩ නැගීමට යත්න දරන ක්‍රියාධරයන් ලෙසින් චෝදනා ලබන පුද්ගලයන් සමඟ සම්බන්ධ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් උත්සාහ දරන බව පල වන වාර්තා විග්‍රහ කරන්නේ 'ඉතා බරපතල වර්ධනයක්' ලෙසින්.

"මොකද මේක කෙලින්ම නීතිවේදීන්ගේ කාර්යභාරය ගැන එක්සත් ජාතීන්ගේ මූලික ප්‍රතිපත්තීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. රටක නීතියේ ආධිපත්‍යය රැකෙන්න නම් අධිකරණය ඉදිරියේ තමන්ගේ සේවාදායකයා ආරක්ෂා කරන්න නීතිවේදීන් බැඳිලා ඉන්නවා."

බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ නීතිඥවරියක වශයෙන් අයර්ලන්ත ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්, මුස්ලිම් අන්තවාදීන් ලෙස චෝදනා ලැබූවන් ඇතුළු ත්‍රස්තවාදී චෝදනා ලැබූ බොහෝ දෙනකු වෙනුවෙන් තමන් පුද්ගලිකව පෙනී සිටි බව සංදේශයට කියා සිටි හෙළනා කෙනඩි ආදිපාදවරිය, තමන් ඔවුන්ගේ සංවිධානවලට සම්බන්ධ බව හෝ ඔවුන්ගේ දේශපාලන මතය දරන බවක් එයින් අදහස් නොකෙරෙන බව අවධාරණය කරන්නීය.

මෙම චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර