ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පොලිසිය වගකීම් ඉටු කර නැහැ'

දෙදහස් අට වසරේ මාලබේ ප්‍රදේශයේ පිහිටි කිතුනු දේව මධ්‍යස්ථානයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පද්මිණි රණවක සදහන් කළේ, විත්තිකරුවන්ට එල්ල කල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

විත්තිකාර භික්ෂුන් වහන්සේලා ගැටුම්කාරී තත්වය උද්ගත වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව සාක්කි වලින් ප්‍රකාශ කෙරුණත් ප්‍රදේශයේ පදංචිකරුවන් වශයෙන් ඔවුන්ට එහි රැඳී සිටීමට අයිතියක් ඇති බවයි විනිසුරුවරිය සදහන් කළේ.

පොලිසියේ නොසැලකිල්ල

මෙම නඩුවේදී පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සාක්‍ෂි විශ්වසනීයත්වයෙන් තොර බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

එසේම ගැටුම මැඩ පැවැත්වීමට අවශ්‍ය බලය තිබියදී එය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විනිසුරුවරිය පොලිසියට චෝදනා කළාය.

මෙම සිද්ධියේදී දේවස්ථානයේ තිබු භාණ්ඩ කොල්ල කෑ බවට පැමිණිල්ල විසින් චෝදනා කරනු ලැබ තිබුන අතර එය තහවුරු කිරීමට පොලිසිය අසමත් වී ඇති බවයි විනිසුරුවරියගේ තීන්දුව වුණේ.

මේ අනුව විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.

උසාවි තීන්දුව පිළිබඳව ජන මාධ්‍යයට අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සදහන් කළේ තම නීතිගරුක භාවය මෙම නඩු තීන්දුව මගින් ඔප්පු වූ බවයි.

‘’අපි නීතියට අවනතව කටයුතු කරන පිරිසක් බව මෙම නඩු තීන්දුවෙන් ඔප්පු වුනා.අද අධර්මය පරදවලා ධර්මය ජයගත් දවසක් හැටියට හඳුන්වන්න පුළුවන් ‘’ යනුවෙන් උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.